7/19/16


ශක්‍රයා මහා බෞද්ධයෙක්‌ බව අප අසා ඇත. මහා ශ්‍රද්ධාවන්තයෙක්‌ බවද සැබෑය. බුදුරජාණන් වහන්සේගෙන්a නිතර බණ ඇසු බවද සැබෑය එහෙත් අප බොහෝ බෞද්ධයින්ට හා ශ්‍රද්ධාවන්තයන්ට මෙන් ඇසු බණ, ටික වෙලාවකින් අමතකවී යන සිරිතක්‌ ශක්‍රයාටද තිබුණේය. මේ බව දැන සිටි මුගලන් මහරහතන් වහන්සේ මේ බව සනාථ කර ගැනීම සඳහා ශක්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා දෙව් ලොව ගිය පසු තමාද ශක්‍රයා හමුවීමට දෙව් ලොවට ගොස්‌ මොහොතකට කලින් තමා බුදුන් හමුවට ගොස්‌ කිනම් ධර්මයක්‌ ඇසුවේදැයි ශක්‍රයාගෙන් විමසීය.

දෙදෙව් ලොවටම අධිපති වන තමා ඉතා කාර්ය බහුල පුද්ගලයෙක්‌ බවත දෙවිවරුන් නිතර නිතර තම තමන්ගේ ගැටළු විසඳා ගැනීමට තමා හමුවට එන බැවින් තමා අවිවේකී බවත් එම නිසා හොඳින් බණ ඇසුවත් ඒවා තමාට අමතක බවත් ශක්‍රයා පැවසුවේය. හේතුව සැබෑය. සාධාරණය. දිව්‍ය ලෝක දෙකක දෙවිවරුන්ගේ පමණක්‌ නොව මනුලොව මිනිසුන්ගේ ප්‍රශ්න ද අසා ඒවාට පිළිසරණ වීමටද ඔහුට සිදු වේ.


මාතලී යනු ශක්‍ර දේවේන්ද්‍රයාගේ නිල රියදුරාය. එපමණක්‌ නොව මාතලී ශක්‍රයාගේ කල්‍යාණ මිත්‍රයාද වූයේය. මාතලීට ශිඛණ්‌ඩී නමින් දිව්‍ය පුත්‍රයෙක්‌ සිටියේය. ඔහු පෙමින් වෙලී සිටියේ තිම්බරු නම් දිව්‍ය රාජයාගේ දියණිය වූ භද්‍රd දිව්‍යාංගනාව සමගය. ඇයට ඉතාමත්ම දීප්තිමත් රූ සපුවක්‌ තිබූ නිසා සූරියවචච්සා නමින්ද හැඳින්විය. දිනක්‌ ශක්‍රදේවේන්ද්‍රයාගේ වීණා වාදකයා වූ පංචශික ඇයගේ මනරම් නැටුමක්‌ දැක ඇයට වශී විය. ඔහුද ඇයට පෙම් බැන්දේය.

පසුව ඇය මාතලීගේ පුත් ශිඛණ්‌ඩිගේද පෙම්වතිය බව දැනගත් නමුත් ඇයගෙන් ඈත්වන්නට පංචශික අකමැති විය. එය තුන් කොන් ප්‍රේමයක්‌ විය. අවසානයේ පංචසික ඇය ලබාගැනීම සඳහා ශක්‍රදේවේන්ද්‍රයාගේ උපකාරය ලබාගැනීමට තීරණය කර ශක්‍රදේවේන්ද්‍රයා හමු වී තම අභිමතාර්ථය පැවැසීය. මේ වන විට පංචශික ශක්‍රදේවේන්ද්‍රයාට කිසිදිනක අමතක කළ නොහැකි උදව්වක්‌ කර තිබුණේය. ශක්‍රදේවේන්ද්‍රයාට සිය ආයුෂ වැඩිකර ගැනීමට අවශ්‍ය වු විට ඔහුව බුදුරජාණන් වහන්සේ වෙත කැඳවා ගෙනවිත් බුදුන් ලවා ආයුෂ වැඩිකරවා දුන්නේ පංචශිඛය. මෙම උදව්වට ප්‍රති උදව්වක්‌ ලෙස ශක්‍රදේවේන්ද්‍රයා තම බලය යොදා සූරියවචච්සාව ශිඛණ්‌ඩිගෙන් ඈත්කර පංචශිකට ලබාදුන්නේය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේ කිඹුල්වත් නුවර රෝහිණී නම් රාජ කන්‍යාවක්‌ සිටියාය. ඇය ඉතාමත් වටිනා දාන ශාලාවක්‌ සාදා බුදුරජාණන් වහන්සේට පූජා කොට දිනපතාම මහා සඟරුවනට ඇයම පිළියෙළ කොට දන් දුන්නාය. ඒ පින් බලෙන් ඇය මිය පරලොව ගොස්‌ දෙව් ලොව ඉපදුනාය. දෙව් ලොව දිව්‍යාංගනාවක්‌ ඉපදුන විට ඇය අයත් වන්නේ ඇය ඉපදුන සීමාව අයත් දෙවිවරයාටය. එහෙත් රෝහිනී උපත ලැබුවේ දෙව්වරුන් සතර දෙනකුටම අයත් වන සීමාවකය. දෙව්වරු සතර දෙනාම තම තමන්ට කොතරම් දිව්‍යාංගනාවන් සිටියදීත් ඇයගේ රූමත්කම නිසාම ඇය ලබාගන්නට ඇයට උරුමකම් කියන්නට විය. මෙය හබය මහා කලබැගෑනියක්‌ බවට පත්වී අවසාන තීන්දුවක්‌ ලබාගැනීම සඳහා ශක්‍ර දේවේන්ද්‍රයා ළඟට ගියේය. රෝහිනී දිව්‍යාංගනාව දුටු ශක්‍රදේවේන්ද්‍රයාද ඇයගේ රූ සපුවට වශීsවිය.

තම අන්තඃපුරයේම දිව්‍යාංගනාවන් පමණක්‌ නොව තමාගේ ප්‍රධාන බිරින්දෑවරු සතර දෙනා වන සුධර්මා, සුජාතා, චිත්‍රා සහ නන්දා ද අමතක වී ඇය තමාගේ අන්තඃපුරයට ගැනීමට උපායක්‌ කල්පනා කළේය. පසුව දෙවිවරු සතර දෙනාගෙන් පළමුවැනියා කැඳවා රෝහිනී දිව්‍යාංගනාව දුටු මොහොතේ පටන් තොපට කුමක්‌ සිතේදැයි පළමුවැන්නාගෙන් ඇසීය. ඈ දුටු මොහොතේ පටන් මාගේ හදවතට ආ ප්‍රේමය අහස්‌ ගංගාව සේ නොකඩවා ගලායන්නේ යෑයි ඔහු කීය. දෙවැන්නා කැඳවා ඔහුගේ ප්‍රේමය කෙසේදැයි ඇසීය. ඔහු මැය දුටු මොහොත් පටන් මාගේ හදවත ඇය නොලැබේය යන බයෙන් සටන් පෙරමුණක ගසනා බෙරයක්‌ මෙන් සට සට ගා නොකඩවා හඬ තලන්නේ යෑයි කීය.

ශක්‍ර දේවේන්ද්‍රයා තෙවැන්නා කැඳවා ඔහුගේ ප්‍රේමය කෙසේදැයි ඇසීය. ඇය දුටු මොහොතේ සිට ඇගේ රූපශ්‍රීයෙන් මාගේ නෙත් අදහා ගත නොහී ඇගේ රූපශ්‍රීය තව තවත් දැක ගැනීම සඳහා මාගේ නෙත් කකුළුවකුගේ නෙත් මෙන් ඉදිරියට ඇදි ගියේ යෑයි ඔහු කිවේය. හතරවෙනියා කැඳවා ඔහුගේ ප්‍රෙAමය කෙසේදැයි ඇසීය. මැය දුටු මොහොතේ සිට ඇය නොලැබේ යෑයි දුකින් මාගේ ළය දාගැබ් කොත් කැරුල්ලක්‌ කෙළවර බැඳ ඇති ධජයක්‌ සුළං පහරින් සෙළවී සෙළවී සැලෙන්නාක්‌ මෙන් සැළෙන්නේ යෑයි කීවේය.

සක්‌දෙව් රජ මේ සියලු උපමා සලකා බලා ඒවා එකිනෙකට පරයා නොවන බව දැක ඇය නොලද හොත් තොපි හතර දෙනා මිය යන්නේ දැයි ඇසීය. ඒ සියලු දෙනාම අපි නොමියෙමුයි කීහ. එසේ නම් ඇගේ රූපශ්‍රීයෙන් මා තොප සියලු දෙනාටම වඩා වශී වී සිටීම ඈ නොලද හොත් මාගේ ශක්‍ර සම්පත්වලිsන්ද මට වැඩක්‌ නැත. මාගේ දෙකෙළ පනස්‌ලක්‌ෂයක්‌ වන අන්තඃපුරයෙන්ද මට වැඩක්‌ නැත. මාගේ අග බිසව් සතර දෙනාගෙන්ද මට වැඩක්‌ නැත. එම නිසා මම ඇය මාගේ මාගේ අන්තඃපුරයට ගෙන යමියි පවසා ඇය රැගෙන ගියේය. වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටුණු දෙව්වරු හතර දෙනා කිසිවක්‌ කර කියා ගත නොහී බලා සිටියෝය. නඩු තීන්දුදීම සම්බන්ධයෙන් ලක්‌දිව සිටි කැකිල්ලේ රජු සක්‌දෙව් රජුට වඩා හොඳ යෑයි ඔවුන්ට සිතෙන්නට ඇත.

බුදුදහම අනුව ඉපදෙන සෑම සත්ත්වයෙකුටම ඔහු විසින් පෙර කරන ලද කර්ම අනුව ගෙන එන ආයුෂ ප්‍රමාණයක්‌ ඇත්තේය. ඒ සත්වයා ජීවත් වන උපරිම වයස්‌ සිමාව වන්නේ එම වයසය. ඒ ආයු ප්‍රමාණය ගෙවුන විට ඔහු මිය යන්නේය. මෙය ආයුක්‌ඛය මරණය ලෙස හැඳින්වේ. මෙය සෑම සත්වයෙකුටම පොදු ධර්මතාවක්‌ වන අතර ශක්‍ර දේවේන්ද්‍රයාටත් එසේමය. එහෙත් ශක්‍රදේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟ හඬා වැටී මෙම ආයු ප්‍රමාණය දික්‌ කර ගත්තේය.

දෙවිවරුන් මියයන විට දෙවිවරුන්ට ඒ බව දැනෙන්නට පටන් ගන්නේය. ඒ මරණයේ පෙර නිමිති මෙසේය. වර්ණය නැතිවේ (කායෙ දුක්‌ඛණ්‌නියං ඔක්‌කමති). මල් මාලා මැළවේ ( මාලා මිලායන්ති). ගඳ ගැසීමට පටන් ගනී (කච්ඡේහි සේද මචිCන්ති). රෙදි පිළි කිළිටි වේ (වත්තානි කිළිස්‌සන්ති). දිව්‍යමය ආසනවල අසුන් ගැනීමට නොහැකිවේ. සක්‍ර දේවේන්ද්‍රයාටද මෙම ලක්‌ෂණ පහළවන්නට විය. ඔහු බොහෝ සේ දුක්‌ විය. බිය විය. අසරණ වී කර කියා ගත හැකි කිසිවක්‌ නොමැති තැන සිය කුළුපග මිත්‍රයා වූ පංචශිකට ඒ බව කියා කළ හැකි කිසිවක්‌ ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලීමක්‌ කළේය. පංචශික බුදුරජාණන් වහන්සේ හමුවන ලෙසට උපදෙස්‌ දුන්නේය. තනිවම බුදුරජාණන් වහන්සේ හමුවට යැමට බිය වූ සක්‌දෙව් තමා බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවා ගෙන යන ලෙසට පංචශිකට කීය.

පංචශික සිය ස්‌වාමියාට අනුකම්පාවෙන් ශක්‍රදේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවා ගෙන ගොස්‌ සියලු පුවත් කීය. මෙය ඇසූ බුදුරජාණන් වහන්සේ සක්‌ දෙවිදුන්ගේ ආයුෂ තවත් දිර්ඝ කර දීමට කිනම් පුණ්‍ය කර්මයක්‌ කර ඇත්දැයි බැලීය. එවිට බුදුරජාණන් වහන්සේට සක්‌දෙව් රජ පෙර භවයකදී පුජා කර මිලාන වී යන මල් ටිකක්‌ දැක එයට පැන් ඉස පිනක්‌ කර ඇති බව දැක ගන්නට හැකිවිය. බුදුරජාණන් මේ අනුව සක්‌ දෙව් රජුගේ ආයුෂ දිර්ඝ වේවායි අධිෂ්ඨාන කළ සේක. චුත වන්නට ගිය සක්‌දෙව් රජුගේ දිවි ගැළවුයේ බුදුවරයෙකුට පිදූ මල්වලට පිරිසිදු පැන් ඉසූ පිනෙන්ය. මේ අනුව දැනට සිටින ආයුක්‌ඛය මරණය දිර්ඝ කර ගත් එකම පුද්ගලයා ශක්‍ර දේවේන්ද්‍රයාය.

තමන්ට බලය හා නිලය ඇති විට තමන්ගේ සුඛ විහරණය සඳහා ප්‍රාසාද සකසා ගැනීම සුඛෝපභෝගී යාන වාහන සපයා ගැනීම සුඛෝපභෝගී භාණ්‌ඩ ලබාගැනීම අද පමණක්‌ නොව එදාද තිබූ බව ඉතිහාසය හදාරන විට පෙනේ. සක්‌දෙව් රජද එසේමය. ඔහු සුර අසුර යුද්ධයේදී අසුරයින් පරදා යුද ජයග්‍රහණය ලැබ දෙදෙව් ලොවටම අධිපති වූ පසු තමාගේ වාසය සඳහා සියලු සැප සම්පතින් අනූන වු වෛජයන්ති ප්‍රාසාදය සාදවා ගත්තේය. මෙය නිර්මාණය කරන ලද්දේ දෙව් ලොව අග්‍රගන්‍ය නිර්මාණ ශිල්පියා වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාය. එම ප්‍රාසාදයේ මුදුන් පන්සියයක්‌ විය.

එක මුදුනක කූඨාගාර පන්සියයකි. එක කූඨාගාරයක සක්‌දෙව් රජ සඳහා දිව්‍යාංගනාවන් සත් දෙනකි. ප්‍රාසාද පමණක්‌ නොව වෛජයන්ත නම් නිල රථයක්‌ද විය. එහි රියෑදුරා වූයේ මාතලීය. එය ඇද ගෙන යනු ලබන්නේ අසුන් පන්සිය දෙනකු විසිනි. දිව්‍ය ලෝකයේ තිරිසන් සත්වයින් නොමැති නිසා මෙම රථය අදිනු ලබන්නේ සත්ව වෙස්‌ ගත් දිව්‍ය පුත්‍රයින්ය.

මේ අනුව බලන කල ශක්‍රයා අතින්ද විෂමාචාර වැරැදි සිදුවී ඇත. ශක්‍රයාද කෙලෙස්‌ සහිත පුද්ගලයෙකු බැවින් මෙම දෝෂ ඔහු අතින් සිදුවූවා විය හැකිය. එම නිගමනයට බැසිය හැක්‌කේ ශක්‍රයා කෙළෙස්‌ සහිත පුද්ගලයෙකු බව බුදුරජාණන් වහන්සේම වරක්‌ දේශනා කර ඇති නිසාය. මහණෙනි, ශක්‍රයා විසින් ප්‍රකාශ කරන ලද හා ගායනා කරන ලද දෑ මනාකොට ගායනා නොකරන ලද්දේය. ඔහුගේ වචන නිවරැදි හා යහපත් චචන නොවිය හැකිය. සුභාෂිත නොවිය හැකිය. මන්ද ශක්‍රයා පහ නොකරන ලද රාග සහිත පුද්ගලයෙක්‌ නිසාය. පහ නොකරන ලද ද්වේෂ සහිත පුද්ගලයෙක්‌ නිසාය. පහ නොකරන ලද මෝහ සහිත පුද්ගලයෙක්‌ නිසාය යනුවෙන් බුදුරජාණන් වහන්සේ භික්‌ෂුන් වහන්සේ අමතා දේශනා කරන ලද්දේය.

වැරැදි නොකරණ කෙනෙක්‌ නොමැති බවත් අවශ්‍ය වන්නේ වැරැදි අවබෝධ කර ගෙන එය තවදුරටත් නොකර ඉන් ඉවත් වී ඒ ගැන සිත සිතා නොසිට ඉන් මිදීමට වඩ වඩාත් කුසල් කිරීම බවත්, කෙලෙස්‌ මල පහකිරීම බවත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. අප ඒ මඟ යා යුතුය.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews