7/31/16


මෙරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ෆ්ලෝරයිඩ් බව තමා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් වසර ගණනාවක් කළ පර්යේෂණ අනුව හෙළිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා සම්මානිත මහාචාර්ය සී.බී. දිසානායක මහතා පවසයි. දිසානායක මහතා මුඛ අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයා ද වෙයි.


වල්නාශක රසායනික ‍පොහොර, කෘමිනාශක ආදිය මඟින් වකුගඩු රෝගය වැඩි කරන බව කීවත් පහතරට හා උඩරටත් වල්නාශක කෘමිනාශක රසායනික පොහොර බහුලව භාවිත කළත් ඒ ප්‍රදේශවල අයට වකුගඩු රෝගය බහුලව වැලඳී නැති බව මහාචාර්ය දිසානායක මහතා පෙන්වා දෙයි.

තමා ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් 1990 දි පමණ සිට ශ්‍රී ලංකාවේ භූගත ජලය පිළිබඳව කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් අනුව භූගත ජලයේ ෆ්ලෝරයිඩ් වැඩි ප්‍රදේශවල වකුගඩු රෝගය වැඩි බවද ෆ්ලෝරයිඩ් අඩු ප්‍ර‍දේශවල වකුගඩු රෝගය අඩු බවද හෙළිවී ඇතැයිද මහාචාර්යවරයා කියයි. ෆ්ලෝරයිඩ් නිසා දරුවන්ගේ දත් කහ ගැන්වීම සිදුවේ.

දැනට මේ වකුගඩු රෝගය දකුණු පළාතට ද ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දෙන මහාචාර්යවරයා දැනට මේ රෝගය නිසා ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 40,000 ක් පමණ මිය ගොස් ඇති බවද රෝගීන් 60,000ක් පමණ ඇති බවද පැවසීය.

වල්නාශක හා රසායන පොහොර භාවිත කරන වියළි කලාපයේ ගොවි ජනතාව ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම හා ඔවුන්ගේ ශරීරයෙන් වැඩිපුර දහඩිය පිට වීම පමණක් නොව, ලෝක දේශගුණ විපර්යාසද මෙලෙස මෙරට වියළි කලාපය පුරා වකුගඩු රෝගය වැඩි වීමට හේතු වී ඇති බව පෙන්වා දෙන මහාචාර්යවරයා ඒ අනුව රජරට ජනතාවගේ චර්යාවන්ද වෙනස් විය යුතු බව පෙන්වා දුන්නේය.
මේ අතර ඕනෑම ප්‍රදේශයක ජීවත් වන ජනතාවට වැලඳෙන රෝගාබාධවලට ඔවුන් ජීවත් වෙන පොළොවේ ඇති භෞතික හා රසායනික ද්‍රව්‍යවල ප්‍රමාණය හේතු වන බවද මහාචාර්යවරයා පවසයි.

ඒ අනුව ලෝකයේ අලුත් විෂයයක් ලෙස භූ භෞතික වෛද්‍ය විද්‍යාව නම් අලුත් විෂයයක් හඳුන්වාදීමට තමා කටයුතු කරන බවත් මහාචාර්ය දිසානායක පවසයි. ඊට අමතරව අපේ මේ භූගත ජලය හා එහි සංයුතිය පිළිබඳව අලුත් සිතියමක් සකස් කරන බවත් ඒ අනුව මෙරට එක් එක් ප්‍රදේශවල ජලයේ සංයුතිය අනුව හැදී ඇති ලෙඩ රෝග පිළිබඳව පෙන්වා දෙන බවත් මහාචාර්යවරයා පවසයි.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews