7/24/16


පිළිකාවක්‌ කියන්නෙ දවසකින් දෙකකින් වර්ධනය වෙන දෙයක්‌ නොමෙයි. ඔබ කැමැති හෘදයාබාධයකට ද පිළිකාවකට ද කියල ඇහුවොත් පිළිකාවකට කැමැති වෙන්න. හෘදයාබාධය ක්‍ෂණික මරණය ගෙන එන්නක්‌. පිළිකාව ක්‍ෂණිකව මරණය ගෙන් එන්නක්‌ නෙමෙයි. ඒ වගේම පිළිකා කාරකයනට එනම් පිළිකාවක්‌ ඇති කරන දෙයකට දවසක්‌ දෙකක්‌ නිරාවරණය වුණාට පිළිකා හැදෙන්නෙත් නෑ. පිළිකාවක්‌ කියන්නෙ පිළිකා කාරකයකට සමහර විට වසර ගණනාවක්‌ යොමුවීමෙන් ශරීරයේ සෛල තුළ ඇතිවන වෙනසක්‌.

නමුත් මෙහි තිබෙන භයානකකමත් එයමයි. අද අපි කන කෑම බොන වතුර සහ හුස්‌ම ගන්නා වාතය නිසා තව වසර කිහිපයකින් වැඩිදෙනකුට පිළිකා ඇතිවීමට ඉඩ තිබෙනව. එයට හේතුව අද අපි කන බොහෝ කෑම බීමවල සහ හුස්‌ම ගන්නා වාතයේ පවා පිළිකා කාරක අඩංගු නිසා. රජරට වකුගඩු රෝගය වගේ පිළිකා රෝගයත් අද රට පුරා ව්‍යාප්තවීමේ තත්ත්වයක්‌ ඇතිවෙලා තිබෙනව.


අද අපි කන කෑම බීම රසවත් කරන්න විවිධ රසකාරක භාවිත කරනව. මේවා බොහෝමයක පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගුයි. ප්ලාස්‌ටික්‌ බෝතල්වල ජලය රැගෙන ගොස්‌ පානය කිරීම අද සුලභව සිදුවෙන දෙයක්‌. ප්ලාස්‌ටික්‌ බෝතල්වල ඇති ඩයොක්‌සින් නමැති ද්‍රව්‍ය හිරු එළිය ඇතිවිට ජලය සමඟ එකතු වෙනව. ඩයොක්‌සින් පිළිකා කාරක ද්‍රව්‍යයක්‌. ඩයොක්‌සින් සහිත ජලය පානය කිරීම පිළිකා ඇතිවීමට හේතුවක්‌. රැගෙන යැමේ පහසුව නිසා අපේ රටේ පාසල් දරුවො විශාල පිරිසක්‌ ප්ලාස්‌ටික්‌ බෝතල්වල වතුර රැගෙන යනවා. වසර කිහිපයක්‌ මේ ජලය පානය කිරීම පිළිකා ඇතිවීමට හේතුවක්‌.
පිළිකාවක්‌ වැළඳී ඇතැයි සැකසිතිය හැකි කෙනෙකුට දැනෙන මූලික ලක්‍ෂණ මොනවාද?

පිළිකාවක්‌ කියන්නෙ ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකි පාලනයකින් තොර සිදුවන සෛල වර්ධනයක්‌. එය ගැටිත්තක්‌ ලෙස හෝ රුධිරයේ ලියුකේමියා තත්ත්වයක්‌ වන්නටත් පුළුවන්. ශරීරයේ එක්‌ එක්‌ ඉන්ද්‍රියයන් හා ආශ්‍රිතව හටගන්නා පිළිකා නිසා ඇති කරන සංඥත් එකිනෙකට වෙනස්‌. අපේ රටේ වැඩිපුරම තියෙන්නෙ පියයුරු පිළිකා. පියයුරක හටගන්නා ගැටිත්තක්‌ හෝ සමෙහි ඝනවීමක්‌ තනපුඩුවේ ගිලී යැමක්‌ හෝ දියර ගැලීමක්‌, පියයුරෙහි සමෙහි වෙනස්‌වීමක්‌ කිහිල්ලේ කුද්දටි ඇතිවීමක්‌ පියයුරු පිළිකාවක මූලික ලක්‍ෂණයක්‌ වෙන්න පුළුවන්.

අපේ රටේ බහුලව දැකිය හැකි පිළිකා අතර දෙවැනි නැත හිමිවන්නේ මුඛ පිළිකාවලට. මුඛයෙහි ඉවත් කළ නොහැකි සුදුපාට ලපයක්‌, මුඛ සිවියේ ඝන වීමක්‌, මුඛයේ මාසයක්‌ පමණ සුව නොවන තුවාලයක්‌ මුඛ සිවියේ ගෙඩියක්‌ වැනි අසාමාන්‍ය වර්ධනයක්‌ හෝ රත් පැහැවීමක්‌ මුඛ පිළිකාවක ලක්‍ෂණයක්‌ විය හැකියි.

ගලනාලයේ එනම් උගුර හා ආමාශය සම්බන්ධ කරන නාලයේ හට ගන්නා පිළිකාත් අපේ රටේ බහුලයි. දීර්ඝ කාලයක සිට තිබෙන ආහාර ගිලීමට අපහසුකම මෙම පිළිකා පෙන්වන මූලික ලක්‍ෂණයක්‌. කල් පවතින කැස්‌ස පෙනහළු පිළිකාවක්‌ ඇතිවීමේ මූලික අවස්‌ථාවේ පෙන්වන සංඥවක්‌ විය හැකියි. කහිනවිට ලේ පිටවීම, පපුවේ වේදනාව ඇති වෙන්නත් පුළුවන්. මෙයම ක්‍ෂය රෝගයේ මූලික ලක්‍ෂණ ලෙසත් ඇතිවෙනව. බොහෝ විට යමෙකුගේ කට හඬෙහි ඇතිවන වෙනස ස්‌වරාලයේ පිළිකාවක මූලික අවස්‌ථාව නිසා ඇතිවන්නට පුළුවන්. මෙම පිළිකාව වැළඳුනු මුල් අවස්‌ථාවේ ඇතමුන් කොතරම් කතා කළත් කටහඬ පිට වෙන්නෙ නෑ.

ගැබ්ගෙල පිළිකාත් අපේ රටේ බහුලව හමුවන පිළිකා වර්ගයක්‌. අසාමාන්‍ය ස්‍රාවයක්‌ වහනය වීම මෙහි මූලික ලක්‍ෂණයයි. මාසික ශුද්ධිය නැවතුනු කාන්තාවකට නැවත මාසික ශුද්ධිය ඇති වුවහොත් එය ගැබ්ගෙල පිළිකාවක්‌ නිසා විය හැකියි. බඩවැල් පිළිකාවක මූලික ලක්‍ෂණය මළපහ සමඟ රුධිරය පිටවීම, මළපහ සිදුවන රටාවේ වෙනසක්‌ වීමත් එහි ලක්‍ෂණයක්‌ විය හැකියි. තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක මූලික ලක්‍ෂණය බෙල්ලේ ගැටි සහිත ඉදිමීමක්‌ හට ගැනීමයි. පුරස්‌ථි ග්‍රන්ථියේ පිළිකාවක මූලික ලක්‍ෂණය මුත්‍ර කිරීමේදී ඇතිවන අපහසුවයි. ලියුකේමියා රෝගයේ මූලික ලක්‍ෂණ ලෙස කුද්දටි ඉදිමීම සහ රුධිරය අඩුවීම සිදුවෙයි. විටින් විට නොයෙක්‌ ආසාදන ඇතිවීම, නිතර දැනෙන මහන්සි ගතියත් ලියුකේමියා රෝගයේ මුල් අවස්‌ථාවේ දැකිය හැකි ලක්‍ෂණ කිහිපයක්‌.

අපේ රටේ අද බහුලව දැකිය හැකි පිළිකාවල මුල් අවස්‌ථාවේදී පෙන්වන රෝග ලක්‍ෂණ කිහිපයකුයි මේ. මේ රෝග ලක්‍ෂණ ඇති සෑම කෙනෙකුම පිළිකා රෝගියකු යෑයි නිගමනය කරන්නට බැහැ. එය කළ හැක්‌කේ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ මගිනුයි. එමනිසා මෙම රෝග ලක්‍ෂණ ඇතිවුවහොත් වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුවිය යුතුයි. මේ අවස්‌ථාවේදී පිළිකාවක්‌ තිබෙන බව හඳුනාගතහොත් එය ප්‍රතිකාර මගින් සියයට සියයක්‌ම සුව කරන්න පුළුවන්. නමුත් මේ කිසිදු සංඥවක්‌ නොපෙන්වා ශරීරය තුළ පැතිර යන පිළිකා වර්ගයක්‌ තිබෙනවා. ඩිම්බ කෝෂ පිළිකා එවැන්නක්‌. නමුත් ස්‌කෑන් පරීක්‍ෂණ තුළින් අද එම පිළිකාත් සොයාගන්න පුළුවන්.

ජංගම දුරකතන භාවිතය සහ අධිබල විදුලි රැහැන් ආසන්නයේ ජීවත් වීමත් පිළිකා ඇතිවීමට හේතුවක්‌ද?

එබඳු මතයක්‌ තිබෙනව. නමුත් කිසිවෙක්‌ එය ඔප්පුකර නෑ. හිරුගෙන් නිකුත්වෙන ඇතැම් කිරණ ඕසෝන් ස්‌ථරයට හානි වීම නිසා පෘථිවියට පැමිණීමෙන් අපේ සමේ පිළිකා ඇති කරන බව පරීක්‍ෂණ තුළින් ඔප්පු කර තිබෙනව. නමුත් ජංගම දුරකතන වලින් නිකුත් කරන තරංග නිසා හෝ අධිබල විදුලි රැහැන් ආසන්නයේ ජීවත් වීමෙන් පිළිකා ඇතිවන බව කිසිවෙක්‌ පරීක්‍ෂණයකින් ඔප්පු කර නෑ.

අද අපේ රටේ පිළිකා රෝගයක්‌ බෝවන රෝග පැතිර යන ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන බව සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වන කාරණයක්‌. පිළිකා රෝගය මෙලෙස පැතිරීම අවම කර ගන්නෙ කොහොමද?

විවිධ හේතුන් නිසා අපේ පරිසරය අද දූෂණය වෙලා තියෙනවා. පරිසරය දූෂණය වීම පිළිකා වැඩිවීමට ප්‍රධාන හේතුවක්‌. අපි හුස්‌ම ගන්නා වාතයේ පවා අද පිළිකා කාරක අඩංගුයි. උදාහරණයක්‌ ලෙස ඩීසල් දුම්වල පිළිකා කාරක තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් එය ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම අද ආහාරපාන කල්තබා ගැනීමට භාවිත කරන බොහෝ ද්‍රව්‍ය පිළිකා කාරකයි. කෘමිනාශක ගෙන්වන භාජන පවා අද ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා බව වාර්තා වී තිබෙනව. මේ නිසා විවිධ රසායනික ද්‍රව්‍ය අද ආහාර සමඟ ජලය සමඟ මිනිස්‌ සිරුරට ඇතුල්වෙනව. පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීමට මෙය හේතුවක්‌.

මේ තත්ත්වයට මුහුණදීමට නම් අද තමුන්ගේ ආරක්‍ෂාව තමුන්ම සලසා ගතයුතුවා පමණක්‌ නොව තම දරුවන්ගේ ආරක්‍ෂාව සැලසීමත් සෑම කෙනෙකුගේම වගකීමක්‌. පිළිකාකාරක ද්‍රව්‍ය පරිසරයට එකතුවීමට ඉඩ දී සෞඛ්‍ය බලධාරීනුත් නිදා සිටියොත් අනාගතයේ මුළු රටම පිළිකා රෝගයට ගොදුරුවීම වළක්‌වන්න බැහැ

ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
මිතුරන්ට share කරන්න.  තෙරුවන් සරණයි.....

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews