7/29/16


“හෙලෝ... වන් වන් නයින්... මම අයි. පී. සිල්වා කතා කරන්නේ. මෙතන බීච් එකේ කපල්ස් වගයක් මම අල්ලගත්තා. මෙයාලව පොලිසියට අරගෙන යන්න ජීප් එකක් එවන්න.” මාතර මුහුදුවෙරළේ තානායම අසල වැල්ලේ වාඩිවී කතාබහේ යෙදී සිටි යෞවන පෙම්යුවළක් අසලට ආ පුද්ගලයකු තමා පොලිස් පරීක්ෂකවරයකු බව හඳුන්වාදෙමින් තරුණ යුවළ පොලිසියට රැගෙනයාමට සැරසුණේය. ඔවුන්ට එල්ල වූ චෝදනාව වූයේ මුහුදු වෙරළේ අසෝභන ලෙස හැසිරීමයි. කළු පැහැ ජීප් රථයකින් පැමිණි පොලිස් පරීක්ෂකවරයා අතේ බැටන් පොල්ලක් ද ඇත.

ඔහුගේ මේ ගෝරනාඩුව ඇසුණු අවට සිටි අනෙක් ගැටවර පෙම්වතුන් බියපත්ව එතැනින් පලාගියේ ඔවුන් ද පොලිසියට හසුවේයැයි ඇති වූ බිය හේතුවෙනි.

“හරි... තමුසෙලා දෙන්නා නගිනවා ජීප් එකට...” එලෙස කී අයි. පී. සිල්වා මේ තරුණ යුවළ ඔහු පැමිණි කළු පැහැ ජීප් රථයට නංවා ගත්තේ ය. ජීප් රථයට නගින්නට යන අතරතුරේ තරුණයාගේ ඇස ගැටුණේ ජීප් රථයේ ඉදිරිපස වින්ස්ක්‍රීනයේ ච්ර්‍ණඛ්ඊර්‍ණඅ ලාංඡනයක් අලවා ඇතිබවයි.

දෙදෙනා ජීප් රථයේ නංවාගෙන මඳ දුරක් ගිය හෙතෙම මාතර දුම්රිය ස්ථානය අසල ජීප් රථය නැවැත්වීය.

“තමුසෙට හොඳ පනිෂ්මන්ට් එකක් දෙන්න ඕන. බහිනවා. බැහැලා ඉස්සරහට දුවලා ගිහින් ආපහු එනවා...” මොහුගේ විධානයට යටත් වූ අහිංසක තරුණයා ජීප් රථයෙන් බැස ඉදිරියට දිවගොස් ආපසු පැමිණ බලද්දී ජීප් රථය දක්නට නොවීය. ඔහු බසයක නැඟී නිවෙසට ගිය අතර ටික වේලාවක් කල්පනාකොට ඔහු පෙම්වතියගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන්නේ ය.
“ආ... මේ එයා මාව දැන් බස් එකේ නැග්ගුවා. මම ගෙදර යනවා...” ලෙසින් ඇය සාමාන්‍ය ලෙස පිළිතුරු දුන්නාය.

එහෙත්... පෙම්වතාට මේ සිද්ධවූ දෙය ඉවසුම් දෙන්නේ නැත. ඔහු ටික වේලාවකින් යළිත් ඇයට ඇමතුමක් දුන්නේ ය.

“මම ගෙදර ඉන්නේ....” එලෙස කී නමුදු තව ස්වල්ප වේලාවකට පසු ඇය හඬා වැටෙන්නට වූවාය.

“අනේ අර මිනිහා මාව තංගල්ලේ දාලා ගියා...” ලෙසින් ඇය හඬාවැටෙමින් කියා සිටියේ දැඩි ලෙස බියට පත් ස්වරයෙනි.

තරුණයා සිය මවට මේ සියලු තොරතුරු පැවසූ අතර ඇයට මාතර මුහුදු වෙරළේ පිළිරුව අසලට පැමිණෙන ලෙස පවසා මවත් පුතාත් එතැනට ගොස් ඇය පැමිණෙනතුරු බලා සිටියේ මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ද දැනුම් දීමෙන් අනතුරුව ය.

එහි ස්ථානාධිපතිනි වරුනී බෝගහවත්ත ද එම ස්ථානයට ගිය අතර බසයෙන් බැසගත් තරුණිය එතැනට ආවේ හඬා වැටෙමිනි.

ඇය බොහෝ වික්ෂිප්තව සිටියා ය. පියවි සිහිය ඇය කෙරෙන් පලාගොස් ඇති අයුරකි.

“අනේ... අයියේ... මගේ හැමදේම නැතිවුණා...” ලෙසින් හඬා වැළපුණ ඇය පියවි තත්ත්වයට ආවේ පැය දෙකක පමණ කාලයක් ගෙවීයාමෙන් අනතුරුව ය.

ඇය ජීප් රථයේ නංවාගත් පුද්ගලයා තංගල්ලට ගොස් එම රථය නතරකොට රථයේ තිබූ සරමක් ද ඇඳගෙන ඇය දූෂ්‍ය කර තිබිණි. කිසිවක් නොදත් ඇය තමා අත්විඳි දෑ පිළිබඳ කළ විස්තරයෙන් සියල්ල වටහාගැනීමට පොලිසියට හැකිවිය.

මොහු කවුද...? සොයා ගන්නේ කෙසේ ද...? පොලිස් පරීක්ෂිකා බෝගහවත්ත මුහුණදුන් ලොකුම ගැටලුව විය. දූෂණයට ලක්වූ තරුණිය ඒ අවස්ථාවෙදී ම මාතර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ අතර පසුව ඇය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කැරිණි.

අපරාධකරු සෙවීමේ මෙහෙයුම දියත්කළ වරුනී මුලින් ම සහය ලබාගත්තේ මෙම සිද්ධියට මුහුණදුන් තරුණයාගෙනි. තරුණයා කීවාට ඔහු දහසය හැවිරිදි පාසල් සිසුවෙකි. ඇය දහසය හැවිරිදි පාසල් සිසුවියකි. විසිඑක්වැනිදා මේ දෙදෙනාම පෞද්ගලික පන්තිවලට සහභාගීවීමෙන් අනතුරුව මුහුදු වෙරළට ගොස් තිබුණේ හවස දෙකට පමණ ය. එය ප්‍රසිද්ධ ස්ථානයකි. එතැන අහුමුළු කිසිවක් නැත. මේ දෙදෙනා කතාබහ කරමින් සිට ඇත්තේ සිමෙන්ති බංකුවක් ඉදිරිපිට මුහුදු වැල්ලේ බිම හිඳගෙන ය.

තරුණයා ද එක්කරගෙන මෙහෙයුම දියත්කළ වරුනී මුලින්ම කළේ අපරාධකරු තරුණිය පැහැරගෙන ගිය මඟ දෙපස කඩසාප්පුවල, නිවාසවල මෙන්ම බැංකුවලද සවිකර තිබෙන සී. සී. ටී. වී. කැමරාවල වීඩියෝ නැරැඹීමයි.

පෞද්ගලික බැංකුවක සවිකර තිබූ සී. සී. ටී. වී. වීඩියෝපටය නරඹද්දී තරුණයා එක්වරම එම ජීප් රථය ධාවනය වනු හඳුනාගත්තේ ය.

මෙම වාහනය අල්ලාගැනීම සඳහා වරුනී ඊට පසුදින මාර්ග බාධක යොදා මාතරට ඇතුළුවන වාහන පරීක්ෂා කළ ද එම වාහනය හමුවූයේ නැත. තවදුරටත් පරීක්ෂණ ව්‍යාප්ත කළ වරුනී සිවිල් ඇඳුමෙන් සැරසුණ පොලිස් නිලධාරීන් මුහුදු වෙරළ අවට ද යෙදවීය.

විසිතුන්වැනිදා සවස වරුනී තවත් කොස්තාපල්වරියක, සැරයන් වරයකු හා අර තරුණයා ද සමඟ මෙම වාහනය පැමිණෙතැයි බලා සිටියදී ඇයට මුහුදු වෙරළ ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි අයකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිනි. ඒ... අර ජීප් රථය බවට සැකකළ හැකි ජීප් රථයක් මුහුදු වෙරළ අයිනේ පාර දිගේ ඉතා සෙමෙන් ගමන් කරනා බවයි.

මේ පණිවුඩය ලද සැණින් වරුනී ඇතුළු පිරිස ඒ දෙසට දිවයන්නට වූයේ වාහනයක් පවා ඒ වනවිට ඔවුන් සතුව නොවූ නිසා ය. ටිකදුරක් දිව යද්දී නවතා තිබූ වෑන් රථයක් හමුවිය. එහි පිරිසක් සිටි අතර ඒ අවස්ථාවේ නිල ඇඳුමෙන් සැරසී සිටි වරුනී සිය අවශ්‍යතාව පවසා වෑන් රථය ඉල්ලාගෙන ඉතා වේගයෙන් මුහුදු වෙරළ දෙසට ධාවනය කරන්නට වූවා ය.

තොරතුර නිවැරැදි ය. කළු පැහැ ජීප් රථයක් සෙමින් ගමන් කරයි. එය දුටු තරුණයා ඒ සිය පෙම්වතිය පැහැරගෙන ගිය ජීප් රථය බව පැවසුවේ ය. තමා පදවාගෙන ආ වෑන් රථය ජීප් රථයට ඉස්සරකොට හරස්කර නැවැත්වූ වරුනී වෑන් රථයෙන් බිමට පැන ජීප් රථය වෙත දිවගොස් එහි දොර විවර කර යතුර අතට ගත්තේ ය.

“මම ඩොක්ටර් කෙනෙක්.” රිය තුළ සිටි පුද්ගලයා කියන්නට විය. සැරයන්වරයා දිවවිත් මෝටර් රථයේ වම්පස දොර විවර කරනාවිට අපරාධකරු වරුනීට පහරදෙන්නට විය. සැරයන්වරයා පැන මොහුගේ දෑත් අල්ලාගත් අතර ඔහු ඊළඟට සිය පාදවලින් යළිත් වරුනීට පහර දෙන්නට විය.

හැකි උපරිම වෙර යොදා අපරාධකරු මෙල්ලකරගත් වරුනී ඇතුළු පොලිස් පිරිස ඔහුගේ ජීප් රියෙන් ම ඔහු පොලිසියට රැගෙන ආවේ ය. ඒ ජීප් රිය පැදවූයේ ද වරුනී විසිනි. ඒ...අපරාධකරුගේ පහරදීම් මධ්‍යයේ ය.

මාතර පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව මොහු කූඩුවට දමා ජීප් රථය පරීක්ෂා කළේය. මොහු අතින් දූෂණයට ලක්වූ දැරිය කී සියල්ල සනාථ කරමින් ජීප් රථයේ තිබී සරමක් හා උපත් පාලන උපකරණ ද හමුවිය. මොහුගේ ජීප් රථයේ ඉදිරිපස වීදුරුවේ DOCTOR ලාංඡනය ද අලවා තිබිණි.

අත්අඩංගුවට පත් මොහු නමින් අශෝක චමින්ද ය. වයස අවුරුදු තිස්නවයකි. විවාහ දෙකකට උරුමකම් කියයි. පළමු විවාහයේ දරුවාගේ වයස අවුරුදු දහනවයකි. දැනට දෙවැනි විවාහයේ බිරිය හා දරුවන් සමඟ ජීවත් වේ. ඇය මාතර දිස්ත්‍රික්කයේ ම රෝහලක ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියකි. එම විවාහයේ වැඩිමල් දරුවාගේ වයස අවුරුදු තුනකි. බාල දරුවාට අවුරුද්දයි මාසයකි.

මොහුට රැකියාවක් නැත. බිරියගෙන් යැපෙමින් ඇයට ලැබුණු මෝටර් රථ බලපත්‍රයෙන් ලබාගත් ජීප් රථය රැගෙන ප්‍රදේශයේ සැරිසරමින් ළාබාල තරුණියක් දූෂ්‍ය කිරීම මොහුගේ විනෝදාංශයයි. කහවත්ත හා ඇඹිලිපිටිය පොලිස් ස්ථානවල බාලවයස්කාර දැරියන් දෙදෙනකු දූෂ්‍ය කිරීමේ පැමිණිලි ද පොලිසියට ලැබී ඇත. මොහු අල්ලාගත් පුවත ආරංචි වී මාතරට පැමිණි තවත් එවැනිම ළාබාල තරුණියක මොහු හඳුනාගෙන තිබිණි. ඔහු දුටු ඇය දැඩි වෛරයෙන් වෙව්ලන්නට පටන් ගෙන ඇත. ඇය මොහුගේ ජීප් රථය ද හඳුනාගත්තා ය. ඔහු එදා පැමිණ තිබුණේ කළු පැහැති මෙම ජීප් රථයෙනි. නමුත් එම ජීප් රථය හෝ මෙම පුද්ගලයා කවුරුන්දැයි සොයාගැනීමට මොහු අත්අඩංගුවට ගන්නා තුරු එම පොලිසිවලට හැකිවී තිබුණේ නැත.

රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාගේ නිල නිවාසයේ ජීවත්වන මොහු රෝහලට පැමිණෙන ඇතැම් කාන්තාවන්ට ද නොයෙක් හිරිහැර කළ අවස්ථා ද ඇතැයි කියති. මොහු මෙම වෛද්‍යවරිය විවාහ කරගෙන ඇත්තේ ද තමා පොලිස් පරීක්ෂකවරයකු බව කියමිනි. නමුත්... මොහු කලකට පෙර ග්‍රාමාරක්ෂක භටයකු ලෙස සේවය කළ බවට තොරතුරු ලැබී ඇත.

මොහු අතින් දූෂ්‍ය වූ දැරියන් කැඳවා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමට ද නියමිත ය. මොහුට ඔබත් හසුවී ඇත්නම් වහාම මාතර ළමා හා කාන්තා කාර්යංශයට පැමිණෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.

මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුනී බෝගහවත්ත ප්‍රමුඛ කණ්ඩායමක් තවදුරටත් පරීක්ෂණවල නිරතව සිටී.


share this post
උපුටා ගන්නා ලදී. මාංචු

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews