8/22/16


පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩා තරග නැරැඹීමට පැමිණි නිසා ජනප්‍රිය බොලිවුඩ් නිළියකට දෝෂාරෝපණය එල්ල වුණා. ඇය ක්‍රීඩා මණ්ඩපයේ සිටිද්දී, ක්‍රීඩා පිටියේ පිතිහරඹ කළ ක්‍රීඩකයෙකු දුර්වල ලෙස ක්‍රීඩා කළ බවටත් චෝදනා නැඟුණා. ඒ ක්‍රීඩකයා තමයි, විරාට් කෝලි. ඔහු ක්‍රිකට් පිටිය තුළ අසාර්ථකත්වයට පත් කළේ ජනප්‍රිය නිළි අනුශ්කා ශර්මා. විරාට් සහ අනුශ්කා පෙම්වතුන් බව කවුරුන් ද නොදන්නේ? මීට මාස කිහිපයකට කලින් පැතිරී ගිය ආරංචියකින් පැවසුණේ විරාට් සහ අනුශ්කා වෙන්වී ඇති බවයි. ඉන් පසුව ටික කාලයකින්ම දෙදෙනා යළි සමීප වූ බවක් ද පැවසුණා.


දැන් නැවතත් මේ පෙම් යුවළ ලොව වටා සැරිසරමින් යන බවයි ආරංචි. පසුගිය දා අනුශ්කා ‘ඒ දිල් හේ මුෂ්කිල්’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වී එහි වැඩ අවසන් වූ හැටියේම පිටත්ව ගියේ කැරිබියන් දූපත් වෙතටයි. එහි සේන්ට් ලුසියා දූපතට ගිය ඇය, ක්‍රිකට් තරගයක් නරඹන්නට එක්තරා ක්‍රීඩාගාරයකට ගොස් අසුන් ගත්තා. ඒ මොහොතේ පැවැත්වුණේ ඉන්දීය පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරග මාලාවේ තරගයක්.

ටී ෂර්ට් එකකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසී සිටි අනුශ්කා මේ තරගය නරඹද්දී නම් එදා මෙන් විරාට් වෙත ‘පියඹා යන හාදු’ දී ඔහුගේ ක්‍රීඩා කෞශල්‍යය දුර්වල කළේ නැහැ. ක්‍රිකට් තරගය නිමාවට පත්වූ පසුව ඇය විරාට් සමඟ බොහෝ වේලාවක් කතාබහ කරමින් සිටියා. ඉන්දීය ක්‍රීඩකයන් සමඟ පැමිණි පවුල්වල අය සමඟ ද අනුශ්කා සතුටින් කතාබහ කළා.

තරගාවලිය නරඹා ආපසු ඉන්දියාවට පැමිණි අනුශ්කාගෙන් මේ සංචාරය ගැන මාධ්‍යවේදීන් නොයෙකුත් ප්‍රශ්න ඇසුවා. නමුත්, ඇය ඒ කිසිවකට උත්තර දුන්නේ නැහැ.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews