8/3/16



ජයශ්‍රී මහ බෝධින්වන්සේට පැන්පුජා කිරීමට පැන් ලබා ගන්නා ථෙතිහාසික තිසාවැව වැව් රක්ෂිතයේ හොදින් වැඩී තිබූ ගස් විශාල ප්‍රමාණයක් යාන්ත්‍රික කියතක් භාවිතා කරමින් කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කපා බිමහෙලා ඇති බව තිසාවැව අවට වැසියන් පිරිසක් පැවසූහ.

වැවෙහි පිටවාන අසලි වැව් ඉවුරේ තිබූ දශක කිහිපයක් තිස්සේ හොදින් හැදී වැඩුණු ගස් විශාල ප්‍රමාණයක් මුළු මනින්ම හා අඩක් කපාබිම හෙලා ඇති බව ඔවුන් පැවසූහ. පසුගිය දා සංවිධානාත්මකව පැමිණි කිහිප දෙනෙකු යාන්ත්‍රීක කියතක් ආධාරයෙන් කපා දැමූ බව ඔවුහු පැවසූ අතර පූජා නගරයට පැමිණෙන බැතිමතුන් ගස් සෙවනටවී සිය ගමන් මහන්සිය හා තෙහෙට්ටුව මගහැර ගන්නා බවත් ඇතැමුන් මෙම ගස් සෙවනේ හිද වන්දනාවේ එනවිට රැගෙන එන ආහාර ලබා ගැනීමට පුරුදුව සිටි බවත් වැසියේ පැවසූහ.

තිසාවැවේ සුන්දරත්වය නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සෙවනක් නොමැතිකමින් ආපසු හැරීයන බවත්  මෙම සිදුවීම වක්‍රව හෝ සංචරක කර්මාන්තයට බලපාන බව අවට වැසියන් පැවසූහ. රුවන්මැලි සෑය පෙනි පෙනි මේ අපරාධය කරපු මිනිසුන්ට හොදක් වෙන්න එපා. වැවේ වතුර ටික වගේම වැව් රක්ෂිතයේ ගස්ටික වැවේ පැවත්ම වටිනවා. මේවා මිනිසුන් කරන වැඩ නෙමෙයි තිරිසන් මිනිසුන් කරන වැඩ යැයිද ඔවුන් පැවසූහ.

දර කෑල්ලක් කඩා ගැනිම සඳහා ගම්වැසියෙකු රක්ෂිතයකට ඇතුල් උවහොත් වන සංරක්ෂණ නිලධාරීන් පැමිණ අත්අඩංගුවට ගන්නා බවත් වැව් රක්ෂිතයේ තිබූ ගස් කපා දැමූ අය පිළිබඳ සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රීයාත්මක කරන ලෙස තිසාවැව අවට ජීවත් වන වැසියන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.

මේ පිළිබඳව අනුරාධපුර ප්‍රාදේශීය වන නිලධාරී එච්.එම්.ජේ. හේරත් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ වැවෙහි අයිතිය තිබෙන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට බවත් එහෙත් ගස්වලට හානි කර තිබීම හේතුවෙන් තමා ඒ පිළිබඳව වහා සොයා බැලීමට පියවර ගන්නා බවයි.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews