8/4/16


තරබාරුව හෙවත් ස්‌ථුලතාව හේතුවෙන් පෙරට වඩා වැඩි පිරිසක්‌ වර්තමානයේ පීඩා විඳිති. පෙර අපරදිග හෝ බාල මහලු හෝ භේදයකින් තොර ව ස්‌ථුලතාව නම් ගැටලුව ලෝකය වෙළාගෙන ව්‍යාප්ත වෙමින් ඇත. අප රටේ ද කුඩා දරුවන් පවා වැඩි වැඩියෙන් ස්‌ථුලතාවට ගොදුරු වෙමින් සිටින බව මෑතකාලීන සමීක්‌ෂණ මගින් හෙළි වෙයි.

මෙය රූපලාවණ්‍යයට පමණක්‌ බලපාන ගැටලුවක්‌ නො වේ. හෘදයාබාධ, අධි රුධිර පීඩනය, දියවැඩියාව ඇතුළු බෝ නො වන රෝග ගණනාවකට ම ස්‌ථුලතාව පාර කපයි.


ඒ මෙතෙක්‌ අප ස්‌ථුලතාව සම්බන්ධයෙන් දැනුවත් ව සිටි කරුණු ය. මේ වන විට ඇතැම් රටවලට ස්‌ථුලතාව කෙතරම් බරපතළ ගැටලුවක්‌ වී ඇත් ද කියන්නේ නම් එම රටවල් ස්‌ථුලතාව රෝගවලට හේතුවක්‌ ලෙස නො ව සෘජු ව ම රෝගයක්‌ ලෙස නම් කිරීමට ද පෙලඹී සිටියි.

ඉකුත් 2013 වසරේ දී ඇමෙරිකාව ද, 2015 වසරේ දී කැනඩාව ද ස්‌ථුලතාව රෝගයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළේ ය. මෙය රෝගයක්‌ ලෙස නම් කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් වාද විවාද පැවතිය ද ස්‌ථුලතාව එන්න එන්න ම මානවයාට තර්ජනයක්‌ වෙමින් තිබෙන සාධකයක්‌ ය යන්න සම්බන්ධයෙන් කිසිදු විවාදයක්‌ නොමැත.

ඉකුත් ජූනි මස ස්‌වීඩනයේ දී පැවැති ස්‌ථුලතාව පිළිබඳ ලෝක සම්මේලනයේ දී ස්‌ථුලතාව සම්බන්ධ නවතම ප්‍රවණතා

රැසක්‌ සාකච්ඡාවට බදුන් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සමුළුවට සහභාගි වූයේ කායික රෝග විශේෂඳ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා ය. මේ සමුළුවේ දී අනාවරණය වුණු වැදගත් තොරතුරු මොනවා ද යන්න සම්බන්ධයෙන් ඒ මහතා විදුසර වෙත සැපයූ තොරතුරු ඇසුරින් මේ ලිපිය සැකසෙයි.

ඉහත සඳහන් සමුළුවේ දී අනාවරණය වූ තොරතුරුවලට අනුව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද ස්‌ථුලතාව රෝගයක්‌ ලෙස පිළිගන්නා තත්ත්වයට එළඹ ඇති අතර යුරෝපා සංගමයට අයත් පෘතුගාලය ද ඉකුත් දා ස්‌ථුලතාව රෝගයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර ඇත. සංගමයේ සෙසු සාමාජික රටවල් සිය පාර්ලිමේන්තු තුළ මෙය රෝගයක්‌ ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටියි.

මෙවැනි පෙර නො වූ ආකාරයේ දැඩි අවධානයක්‌ ස්‌ථුලතාව කෙරෙහි යොමු වීමට එක්‌ හේතුවක්‌ ව ඇත්තේ ස්‌ථුලතාවට බලපාන්නේ ආහාර පුරුදු හෝ ව්‍යායාම මඳකම හෝ වැනි සාධක කිහිපයක්‌ පමණක්‌ නො වන බව මේ වන විට පෙනී ගොස්‌ තිබීමයි. ස්‌ථුලතාව කෙරෙහි ජානමය සාධක, සමාජ සාධක, රසායනික සාධක වැනි තවත් සාධක හේතු වී ඇති බව මෑතකාලීන අධ්‍යයන මගින් පෙන්නුම් කෙරෙයි.

එබැවින් හුදෙක්‌ ආහාර රටා පාලනයෙන් හෝ ව්‍යායාම කිරීමෙන් හෝ ස්‌ථුලතාව පාලනය කිරීමට හැකි යෑයි තවදුරටත් සිතන්නට අපට පිළිවන්කමක්‌ නැත. එය වඩාත් පුළුල් හා ඒකාබද්ධ ප්‍රවේශයකින් පිළියම් යෙදීමට සිදු වන බැරෑරුම් කරුණක්‌ බව මේ වන විට සෞඛ්‍ය අංශවලට වැටහී ගොස්‌ ඇත.

මේ අතරින් මෑතක සිට ස්‌ථුලතාවට හේතු වන කැපී පෙනෙන සාධකයක්‌ වන්නේ පරිසරයට මුසු වන රසායන ද්‍රව්‍යයන්හි බලපෑම ය. මෙවැනි රසායන ද්‍රව්‍ය ආහාර දාම ඔස්‌සේ දේaහගත වී දේහය තුළ හෝමෝන සමතුලිතතාව අවුල් කරන බව දැන් පෙනී යයි. නිදසුනක්‌ ලෙස ඉන්සියුලින් නිෂ්පාදනය කෙරෙහි මේවායේ බලපෑම අවසානයේ නතර වන්නේ පුද්ගලයා දියවැඩියාවට ගොදුරු වීමෙනි.

දේහයේ මේද මට්‌ටම වැඩි කිරීමට හා ව්‍යාප්ත කිරීමට ද මේ ආකාරයෙන් ම මෙවැනි රසායන ද්‍රව්‍ය අනියමින් දායක වෙයි. සමහර රසායන ද්‍රව්‍ය මොළයට බලපා කුස පිරුණ ද කෑ ප්‍රමාණය මඳ බව දැනීම වැනි විකෘති සංවේදනයන් ඇති කිරීමට හේතුකාරක විය හැකි ය. විශේෂයෙන් ම දරුවන් තුළ මෙවැනි චර්යා සුලබ ය. මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට ඖෂධීය ප්‍රතිකාර අත්‍යවශ්‍ය විය හැකි ය.

අධික ෆ්‍ර‍රක්‌ටෝස්‌ සාන්ද්‍රණයක්‌ සහිත කෝන් සිරප් වර්ග නිසා සිරුරේ මේද සෛලවල පරිමාව වැඩි කර මේදමය විෂ සහිත බව (lipotoxicity) අඩු කිරීමේ යාන්ත්‍රණය අඩාළ කරවන බව ද මෑතකාලීන සොයාගැනීමකි.

මේ අතර තවත් අධ්‍යයනවලින් පෙන්නුම් කෙරෙන්නේ ස්‌ථුලතාවත් විෂාදයත් (depression) අතර අෙන්‍යාන්‍ය සම්බන්ධයක්‌ පවතින බවයි. එනම් මේ (රෝග) තත්ත්ව දෙක එකිනෙකා පෝෂණය කරයි.

කෘත්‍රිම ආහාර නිසා අන්ත්‍රයේ ක්‌ෂුද්‍රජීවී ප්‍රජාව ගේ ක්‍රියාකාරිත්වය විකෘති වන බව ද වැදගත් මෑතකාලීන අනාවරණයකි. අන්ත්‍රයේ වෙසෙන ක්‌ෂුද්‍රජීවීන්, පෝෂණය හා ආහාර ජීර්ණය කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන නිසා මෙය ද ස්‌ථුලතාව කෙරෙහි සැලකිය යුතු දායකත්වයක්‌ දක්‌වයි.

මෙවැනි අමතර හේතු ද ස්‌ථුලතාවට බලපාන බව හෙළි වෙමින් තිබීම නිසා ස්‌ථුලතාව පාලනය කිරීම උදෙසා දැඩි පියවර ගැනීමට සෞඛ්‍ය අංශ පෙලඹී ඇත. එහි එක්‌ පියවරක්‌ ලෙස එය රෝගයක්‌ ලෙස නම් කර වැඩි අවධානයක්‌ ඒ කෙරෙහි යොමු කරවාගැනීමේ උත්සාහයක්‌ දියත් වෙද්දී ඖෂධීය හා අනෙකුත් ප්‍රතිකාර අංශයෙන් ද නව අත්හදාබැලීම් සිදු කෙරමින් පවතියි.

යුරෝපය වැනි රටවල මේ වන විට ස්‌ථුලතාව නොයෙක්‌ අයුරින් පාලනය කිරීමේ ඖෂධ පවා වොළඳපොළට පැමිණ ඇත. ආහාර ගැනීමේ රුචිය හා කෑදරකම පාලනය කිරීම, ආහාර ස්‌වල්පයක්‌ ගත්ත ද තෘප්තිමත් බවක්‌ මොළයට දැනවීම, ආහාරයේ ඇති මේදමය කොටස්‌ සිරුරට අවශෝෂණය අඩු කිරීම, ශක්‌තිය වැඩියෙන් දහනය කිරීම ආදි විවිධ ආකාරවලින් මේ ඖෂධ ස්‌ථුලතාව පාලනය පිණිස දායක වෙයි.

මේ අතර පරිවෘත්තීය සැත්කම් ද (Metabolic surgery) ස්‌ථුලතාව පාලනය සඳහා යුරෝපය වැනි රටවල අතිශයින් ප්‍රචලිත වෙමින් තිබේ. මේ සැත්කමේ දී සිදු කෙරෙන්නේ ආමාශයේ පරිමාව අඩු කිරීම හෝ අන්ත්‍රයේ දිග අඩු කිරීම ය. මෙයින් අපේක්‌ෂා කෙරෙන්නේ ආහාර විශාල වශයෙන් දේහගත වීම වැළැක්‌වීම ය. මේ සැත්කම දියවැඩියාව ස්‌ථුලතාව වැනි තත්ත්ව සඳහා පොදු වෛද්‍ය නිර්දේශයක්‌ වන මට්‌ටමට ම ඇතැම් රටවල පත් ව ඇත. මේ සැත්කම් අවම ආක්‍රමණයකින් එනම් උදරයේ සිදුරක්‌ පමණක්‌ සාදා ලැපරොස්‌කොපි ක්‍රමයට සිදු කිරීමට නවීන තාක්‌ෂණයට හැකි වී තිබීම නිසා ජනතාව ඒ කෙරෙහි වැඩියෙන් යොමු වීමේ ප්‍රවණතාවක්‌ පවතියි.

ප්‍රතිකාර මෙන්ම ජීවන රටාවන්හි ඇති කරගත යුතු වෙනස්‌කම් හා ස්‌ථුලතාව මනින මිනුම් දඩු සම්බන්ධව ද නව ආරක දැනුවත් කිරීම් දැන් දැන් දක්‌නට හැකි ය. මෙතෙක්‌ ස්‌ථුලතාවෙහි දර්ශකයක්‌ ලෙස සුලබව යොදාගත් දේහ ස්‌කන්ධ දර්ශකය (BMI) වෙනුවට ඉනෙහි වටප්‍රමාණය (wasteline) මිනුම් කිරීම වඩාත් විශ්වසනීය බව ප්‍රකාශයට පත් වීම එවැනි වෙනසකි. හෘදයාබාධ හා දියවැඩියාට උදරය හා අතුනුබහන් ආශ්‍රිත ව තැන්පත් වන මේදයෙහි සෘජු දායකත්වයක්‌ ඇති බව මේ වන විට තහවුරු වී තිබීම මීට එක්‌ හේතුවකි. අනෙක්‌ අතට දේහ ස්‌කන්ධ දර්ශකයෙන් ලැබෙන ප්‍රතිඵල සැම විට ම ස්‌ථුලතාවෙහි ම දර්ශකයක්‌ නො වන අවස්‌ථා ද හමු ව තිබීම ය.

නිදසුනක්‌ ලෙස දේහයේ බර මනින විට ඊට අස්‌ථිවල බර ද ඊට එකතු වෙයි. එය ස්‌ථුලතාව සමග සෘජු සබඳතාවක්‌ දක්‌වන සාධකයක්‌ නො වේ. එනිසා දේහ ස්‌කන්ධ දර්ශකයේ අගය අඩු වුවත් දියවැඩියාව ඇති අය හමු වීම වැනි විකෘති ප්‍රතිඵල ලැබී ඇත. තව ද ඉනෙහි වට ප්‍රමාණය මිනුම් කිරීම ඕනෑ ම කෙනකුට පහසුවෙන් කළ හැක්‌කක්‌ වීම ද එනම් දේහ ස්‌කන්ධ දර්ශකය මිනුම් කිරීමට වඩා සරල වීම ද මේ ක්‍රමයට වැඩි පිළිගැනීමක්‌ ලබා දීමට හේතු වී ඇත.

මේ අතර පළමු මාස හයේ මවු කිරි ලද දරුවන් ස්‌ථුලතාවට ගොදුරු වන්නේ අඩුවෙන් ය යන්න ද මෑතකාලීන අධ්‍යයනවල අනාවරණයකි. අනෙක්‌ අතට කිරි පිටි යනු කෘත්‍රිම ආහාරයක්‌ බැවින් පෙර ද සඳහන් කළ පරිදි ඒවා අන්ත්‍රවල ක්‌ෂුද්‍රජීවී ප්‍රජාවෙහි ක්‍රියාකාරිත්වය අවුල් කිරීමට තුඩු දී ස්‌ථුලතාවට වක්‍රාකාරයෙන් මගපාදයි. ගර්aභණී සමයේ මව බර අඩු කරගැනීමට වගබලාගැනීම දරුවා පසුකාලීනව ස්‌ථුලතාවට ගොදුරු වීමේ අවදානම අඩු කරන බව ද සොයාගෙන ඇත.

රූපවාහිනිය ඉදිරිපිට හිඳිමින් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි අයහපත් පුරුදු අත්හැරගන්නා ලෙස ද දැන් ජනතාවට උපදෙස්‌ දෙනු ලැබේ. ආහාරයට නො ව වෙනත් දෙයකට අවධානයෙන් කන විට නොදැනුවත් ව වැඩි ප්‍රමාණයක්‌ ආහාර ගැනීම ඊට හේතුවයි. තව ද විටින් විට ආහාර ගැනීම ද ස්‌ථුලතාව අරභයා දැන් නිර්දේශ නො කෙරෙයි. ඒ වෙනුවට ප්‍රධාන වේල් තුනට පමණක්‌ සීමා වන ලෙස උපදෙස්‌ ලැබෙයි. මේ පණිවිඩය විශේෂයෙන් ම ශ්‍රී ලංකාව වැනි රටක දවසේ වැඩි වේලාවක්‌ නිවසේ නො රැඳෙන ටියුෂන් පන්තිවල ම දවසේ වැඩි වේලාවක්‌ ගත කරන දරුවන් උදෙසා විශේෂයෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාරයක්‌ ගැන අවධානය යොමු කිරීම වටියි.

තව ද රූපවාහිනි වැනි මාධ්‍ය හරහා ප්‍රචාරණය කෙරෙන ස්‌ථුලතාව අඩු කිරීමේ විවිධ උපකරණවලට මුළා නො වන ලෙස ද වෛද්‍ය අංශ ජනතාවට උපදෙස්‌ දෙයි. ඒ මේවායින් අත් වන්නේ තාවකාලික ප්‍රගතියක්‌ පමණක්‌ බවත් නැවතත් ස්‌පුරුදු ලෙස ස්‌ථුලතාවට පත් වන බවත් පෙනී ගොස්‌ ඇති බැවිනි.

ලෝක මට්‌ටමෙන් මේ ආකාරයේ ආකල්පමය වෙනසක්‌ ස්‌ථුලතාව සම්බන්ධයෙන් සිදු වෙද්දී අප රට සිටින්නේ කොතැන ද යන්න ගැනත් මොහොතක්‌ සිතා බැලීම වටියි. මෑතක දී හඳුන්වා දුන් ආහාර ලේබලවලට වර්ණ කේත ඇතුළත් කිරීම උදාහරණයකට ගත හොත් එය ඉලක්‌ක කර ඇත්තේ ආහාරයේ අඩංගු සීනි මට්‌ටම ප්‍රකාශ කිරීම සඳහා පමණි.

එහෙත් දියුණු රටවල ආහාරයේ අඩංගු ලුණු, මේද වැනි සෙසු අහිතකර විය හැකි සංඝටක අරභයාත් වර්ණ කේත එක ම ලේබලයෙහි ඇතුළත් කර ඇත. මේ නිසා පාරිභෝගිකයාට හැම අතින් ම සුරක්‌ෂිත ආහාරය කුමක්‌ දැයි තෝරාගැනීම පහසු වනවා පමණක්‌ නො ව නිෂ්පාදකයෝ ද වැඩි පාරිභෝගික ඉල්ලුම ඇත්තේ වැඩියෙන් ම සෞඛ්‍යාරක්‌ෂිත බව සඳහන් වන ලේබල සහිත ආහාර බව හොඳින් වටහාගන්නා නිසා සෞඛ්‍යාරක්‌ෂිත ආහාර වැඩියෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙලඹෙති.

කොළ පැහැති වර්ණ කේතය වැඩියෙන් අන්තර්ගත ආහාර (කොළ පාටින් කියවෙන්නේ අහිතකර සංඝටක අඩුවෙන්/සෞඛ්‍යාරක්‌ෂිත මට්‌ටමින් අන්තර්ගත බවයි) වැඩියෙන් අලෙවි වන බව එම රටවල වෙළෙඳපොළ සමීක්‌ෂණ මගින් අනාවරණය වී තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ සීනි, ලුණු, මේද වැනි සංඝටක අහිතකර මටේටමින් අන්තර්ගත ආහාර ඉබේ ම වෙළෙඳපොළෙන් තුරන් ව යැමයි. ඒ අනුව දියුණු රටවල ලේබල් වර්ණ කේත ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් අතර ඵලදායි සන්නිවේදනයක්‌ ද ගොඩනැෙගන ආකාරයෙනි.

ඒ අනුව අප ද දියවැඩියාව රුධිර පීඩනය වැනි පටු තැනකින් පමණක්‌ අල්ලාගන්නේ නැති ව බහුවිධ ප්‍රවේශයකින් ස්‌ථුලතාව වැනි තත්ත්වයන් ද පාලනය කිරීමට කටයුතු කළ යුතු ව ඇත.

ස්‌ථුලතාව පාලනය කිරීම සෞඛ්‍ය අංශවලට පමණක්‌ තනි ව කළ නොහැකි අතර ජනතාව ද මෙවැනි නව ප්‍රවණතා සම්බන්ධයෙන් මනා අවධානයක්‌ යොමු කළ යුතු ය. ඒ අනුව ජීවන රටා හසුරුවාගත යුතු ය. ඒ අනුව කටයුතු කරන්නේ නම් "කොපමණ ආහාර පාලනය කළත් ඇයි මම මහත් වෙන්නේ?" යන සුලබ දුක්‌ගැනවිල්ල අසන්නට ලැබෙනු ඇත්තේ කලාතුරකිනි.

vidusara

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews