8/28/16


බොහෝ කාන්තාවන් මාස්ශුද්ධිය එසේ නැතිනම් ආර්ථවය පිළිබඳ ගැටලුවලින් පීඩා විඳිනවා. නිවෙසේ වැඩි වගකීමක් දරන කාන්තාවට තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු හොඳින් කරගෙන යාමට එය ගැටලුවක්. ඒ නිසයි අදත් ඉදිරි සති කීපයේත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න සිතුවේ. අද අප විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ ආර්ථවය සිදුවන දින කීපය තුළ ඇතිවන අධික වේදනාව පිළිබඳව.

ආර්ථවය නමැති ක්‍රියාවලිය කාන්තාවකගේ ශරීරය තුළ සිදුවන ඉතා ස්වභාවික ක්‍රියාවලියක්. ගැහැනු දරුවකු වැඩිවිය පත්වීමත් සමඟම එම දරුවාගේ ඩිම්බකෝෂවල ප්‍රජනනය සඳහා වන ක්‍රියාකාරිත්වය ආරම්භ වෙනවා. ආර්ථවය නමැති ක්‍රියාවලියේ ක්‍රමානුකූලත්වය සහ චක්‍රීය බව ඇති කරන්නේ මොළයෙන්. ඒ සඳහා හයිපොතැලමස, පිටියුටරිය යන ග්‍රන්ථිවලින් නිකුත් වන හෝමෝනවල බලපෑම හේතු වෙනවා. ඩිම්බකෝෂවල තිබෙන ඩිම්බ (ස්ත්‍රී බීජ) වලින් එකක් පරිණත බවට පත්වී සෑම මසකදීම ඩිම්බකෝෂයෙන් පිටතට එනවා. එම ඩිම්බය එන්නේ ගර්භාෂයට.


ගර්භාෂයේ ඇතුළත බිත්තිය එන්ඩොමෙට්‍රියම (Endometrium) නිර්මාණය වී තිබෙන්නේ තනි සෛල ස්ථරයකින්. එය ඇසට නොපෙනෙන තරමේ එකක්. ගර්භාෂයට පැමිණෙන ඩිම්බය ශුක්‍රාණුවක් සමඟ එක්වී කළලයක් බවට පත් වුණොත් ඇසට නොපෙනෙන තරමේ ඒ සෛල ස්ථරය (Endometrium) සෙන්ටිමීටරයක් තරම් පළල සෛල තට්ටුවක් බවට පත්වෙනවා. ඒ කළලයේ ආරක්ෂාවට ඩිම්බකෝෂයෙන් නිකුත් වන ඩිම්බය ශුක්‍රාණුවක් සමඟ එක්වී කළලයක් බවට පත් නොවුණොත් ගර්භාෂ බිත්තිය කැඩී කිසියම් රුධිරය ප්‍රමාණයක් සමඟ ශරීරයෙන් පිටවෙනවා. කාන්තාවකගේ ශරීරය තුළ සිදුවන ආර්ථවය නමැති ක්‍රියාවලිය ඉතා සරලව එසේ විස්තර කළ හැකියි. මෙම සිදුවීම ගර්භාෂයේ ඇතුළත බිත්තිය ගැලවී ශරීරයෙන් ඉවත් වීමක් මිස ගර්භාෂය සුද්ධ වීමක් නොවේ.

මෙය දින 21 - දින 35 අතර කාලය තුළදී සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්. බොහොමයක් කාන්තාවන්ගේ මෙය සිදුවන්නේ දින 28 කදී පමණ. දින 21 - දින 35 අතර කාලය තුළ ආර්ථවය සිදුවන්නේ නම් එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන්නේ නෑ. එම කාලයෙන් පිටත කාලයකදී සිදුවන්නේනම් එය අසාමාන්‍ය තත්ත්වයක්.

ආර්ථවය සිදුවන කාලය තුළ ගර්භාෂය අවට සිදුවන ස්ථානීය හෝමෝන සහ යම් යම් රසායන ද්‍රව්‍ය නිකුත් වීම මත කිසියම් වූ වේදනාවක් ඇතිවීම ඉතාම ස්වභාවික දෙයක්. බොහෝ විට පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් ගැනීමෙන් එම වේදනාව පහව යනවා. එසේ වේදනා නාශකයක් ගැනීමෙන් එම කාන්තාවට කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නෑ. ආර්ථව ක්‍රියාවලියට බාධාවක් ඇතිවන්නේත් නෑ. ඇතැම් කාන්තාවන්ට ජීවිතයේ කිසියම් වයසකදී මෙම වේදනානාශක ගැනීම අත්‍යවශ්‍ය වෙන්න පුළුවනි. ආර්ථවය සිදුවන දින කීපය තුළ මෙවැනි සරල වේදනාවක් ඇතිවීම ඉතාම සාමාන්‍ය දෙයක්.

ඇතැම් කාන්තාවන්ට ආර්ථවය සිදුවන කාලය තුළ අසාමාන්‍ය වේදනාවක් ඇතිවෙන්න පුළුවනි. ඒ සඳහා කරුණු කීපයක්ම බලපෑමේ හැකියාව තිබෙනවා. ඉන් ප්‍රධාන කරුණක් වන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් Endometriosis නම් තත්ත්වයයි. Endometriosis තත්ත්වයේදී සිදුවන්නේ මෙවැනි දෙයක්. ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවන විට ඩිම්බකෝෂයෙන් නිකුත් වන හෝමෝනවල බලපෑමෙන් ගර්භාෂයේ ඇතුළත බිත්තියේ පටක වර්ධනය වීමක් සිදුවන බව දැන් ඔබ දන්නවා. එසේම ගර්භාෂය තුළ කළලයක් හටගන්නේ නැතිනම් එම ගර්භාෂ බිත්තිය කැඩී බිඳී යන බවත් ඔබ දන්නවා. ගර්භාෂ බිත්තිය සෑදී තිබෙන පටකවල කාර්යභාරය එයයි.

ඉතා කලාතුරකින් ඇතැම් කාන්තාවනගේ ගර්භාෂය තුළ පිහිටන්නට අවශ්‍ය එම පටක ගර්භාෂයෙන් පිටත පිහිටන අවස්ථා තිබෙනවා. මෙම තත්ත්වයයි Endometriosis ලෙස හඳුන්වන්නේ. මෙම සුවිශේෂ පටක ගර්භාෂ බිත්තිය ඇතුළත පිහිටියේනම් එම තත්ත්වය ඇඩිනොමයෝසිස් Adenomyosis ලෙස හඳුන්වනු ලබනවා. මෙම තත්ත්වයන් දෙකේදීම ගර්භාෂය ඇතුළත බිත්තියේ ඇති පටක මාසිකව වර්ධනය වන විට ගර්භාෂයෙන් පිටත යම් යම් ස්ථානවල පිහිටන එම වර්ගයේම පටකත් වර්ධනය වීමට පටන් ගන්නවා.

ආර්ථවය සිදුවන විට ගර්භාෂය ඇතුළත බිත්තියේ පටක කැඩී බිඳී යන විට ගර්භාෂයෙන් පිටත පිහිටන පටකත් කැඩී බිඳී යනවා. එවිට එම ක්‍රියාවලිය සිදුවන ස්ථානයේ රුධිරය වහනයක් වෙනවා. එම රුධිර වහනය වන ස්ථානය අනුව කාන්තාවට වේදනාව දැනීමක් සිදු වෙනවා. එසේම එහිදී එම පටක එකතු වීමක් සිදු වෙනවා.

ආර්ථවය සිදුවන දින කීපය තුළ දැඩි වේදනාවක් දැනෙන බව කාන්තාවක විසින් වෛද්‍යවරයකුට පවසන්නේනම්, එයට හේතුව Endometriosis තත්ත්වය ද යන්න සොයා බැලීමට පළමුවෙන්ම ක්‍රියා කරනවා. මෙය ස්කෑන් පරීක්ෂණයක් මඟින් පහසුවෙන්ම හඳුනාගන්න පුළුවනි. මෙම Endometriosis තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනීම ඉතා අවශ්‍යයි. ඒ; එය දරුවන් පිළිසිඳ ගැනීමට පවා බලපෑම් ඇතිකළ හැකි නිසයි.

Endometriosis තත්ත්වයේදී ක්‍රම කීපයකටම ප්‍රතිකාර කරනවා. ඉන් එකක් වන්නේ මූලික රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නැති අවස්ථාවල මෙම රෝග තත්ත්වය නිසා ඇතිවන වේදනාව සහ රුධිර වහනය පාලනය කිරීමට ප්‍රතිකාර කිරීමයි.

මෙය වේදනා නාශක ලබාදීමෙන් මෙන්ම ඉහත පටක වර්ධනය වීම වැළැක්වීමට දෙන ඖෂධ මඟින් ද කළ හැකියි. එසේම ශල්‍යකර්මයක් මඟින් මෙම පටක ඉවත් කිරීමේ හැකියාව ද තිබෙනවා. එයත් මෙහිදී ලබාදෙන ප්‍රතිකාරයක්.

මීට අමතරව ගර්භාෂයේ වෙනත් ගැටලුකාරී තත්ත්වයන් නිසා ද ආර්ථවය සිදුවන විට අධික වේදනාවක් දැනීමට ඉඩ තිබෙනවා. ගර්භාෂයේ හැඩයේ ඇති යම් යම් වෙනස්වීම් ඉන් එකක්. එසේම ගර්භාෂ ගෙඩි ෆයිබ්‍රොයිඩ් (Fibroids) තවත් ගැටලුවක්. ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමෙන් මෙම ගැටලු ඉතාම පහසුවෙන් විසඳා ගැනීමේ හැකියාව අද තිබෙනවා. මෙවැනි ගැටලුවලට ඉක්මන් ප්‍රතිකාර ගන්නේ නැතිනම් ඉදිරි කාලයේදී බරපතළ තත්ත්වයක් දක්වා වුවද මෙම ගැටලු වර්ධනය වීමේ හැකියාව තිබෙනවා.

ආර්ථවය සිදුවන විට ඇතිවන සාමාන්‍ය වේදනාව වැඩියෙන්ම දැනෙන්නේ ආර්ථවය සිදුවන පළමුවන දවසේ රුධිරය පිටවීමත් සමඟයි. ආර්ථවය හා සම්බන්ධව කාන්තාවන්ගේ ශරීරය තුළ ඇතිවන අසාමාන්‍ය වේදනාව ආර්ථවය සිදුවීමට දින කීපයකට පෙර සිටම ආරම්භ වී ආර්ථවය අවසන් වී දින දෙක තුනක් යනතුරුත් පවතිනවා. ආර්ථවයේදී එවැනි වේදනාවක් ඇත්නම්, වඩාත් සුදුසු වන්නේ වහාම වෛද්‍ය උපදෙස් පැතීමයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේදය

පිළිබඳ විශේෂඥ වෛද්‍යඉන්දු අසංක ජයවර්ධන

මිතුරන්ට share කරන්න. 

silumina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews