8/16/16


වත්මන් සමාජය තුළ සිදුවන විවිධ දූෂණ හා රැවටිලිවලට මුල්ම හේතුව අපිට හමුවන අය පිළිබඳව දැනුමක්‌ නොමැතිවීමය. ඔබ දකින ඔහු හෝ ඇය පිළිබඳව නිවැරැදි අවබෝධයක්‌ ලබාගත හැකි නම් වඩාත් බුද්ධිමත් ලෙස ඔවුන් හා කටයුතු කිරීමට ඔබට හැකිවනු ඇත. ශරීරයේ පිහිටි විවිධ දේහ ලක්‍ෂණයන් දෙස බලා ඔහු හෝ ඇය පිළිබඳව නිවැරැදි අනාවැකි පළකිරීමේ මනා හැකියාවක්‌ අපේ පැරණි පඬිවරුන් සතු විය. මේ අනුව එක්‌ එක්‌a අයගේ මුහුණෙහි පවතින හැඩරුව හා යම් යම් ලක්‍ෂණ අනුව ඔවුන්ගේ චරිත ලක්‍ෂණ හා ජීවන චර්යාවන් මෙසේ යෑයි දක්‌වා ඇත. එහෙයින් සාර්ථක ජීවිතයක්‌ ගතකිරීමට රිසි ඔබ තමන්ට හමුවන අය නිවැරැදිව හඳුනාගැනීමට හැකි නම් එය අපේ ජීවිතයට වඩාත් වැදගත් වේ.


කාන්තාවක නම් ඇගේ මුහුණ වටකුරුව හා පියකරු පෙනුමෙන් යුක්‌ත නම් සැබැවින්ම ඇය භාග්‍යවන්තියකි. ඉතා දිළිඳු පවුලක උපත ලැබුවත් පසු කලෙක ඈ ධනවත් වන්නීය. තම පරපුර ද බබලවන්නීය. විවාහ ජීවිතය ද වඩාත්ම සාර්ථක වන අතර වාසනාවන්ත දරුවන් ද ලබන්නීය. මුහුණේ දිග හා පළල එක සමානව ඇති මසින් පිරී ගිය මුහුණක්‌ ඇති කාන්තාව වෙළෙඳ ව්‍යාපාරවලට දක්‍ෂය. මුලදී සුළුවෙන් අරඹන ව්‍යාපාරයක්‌ වුවද පසු කලෙක මහා පරිමාණ ව්‍යාපාරයක්‌ දක්‌වා දියුණු කරගත හැක. සැබෑ දක්‍ෂතාවයන් හා වාසනාවක්‌ ඇය සතුය.

කාන්තාවකගේ නළල් තලය ද පැරණි සෘෂිවරුන් මහත් අභිරුචියෙන් වර්ණනා කර ඇත. අඩසඳක්‌ වන් ශෝභමාන පුළුල් නලල් තලය සෞභාග්‍යවත් නාරි ලක්‍ෂණයක්‌ ලෙස හඳුන්වා ඇත. මුදු මොලොක්‌ වදන් පවසන ඇය සියලු සම්පත් ලැබීමේ පින් ඇත්තියකි. සැබැවින්ම කාරුණික බවින් පිරුණ ඇය මනුෂ්‍යයන් අතර දෙවඟනක්‌ බඳුය.

දේහ ලක්‍ෂණ අනුව කෙනකුගේ මුඛයට ද හිමිවන්නේ විශේෂ තැනකි. එහි විශාලත්වය හා පිහිටීම අනුව ද කෙනකුගේ චරිතය ගැන යම් යම් ප්‍රකාශනයන් කළ හැකිය. විශාල මුඛයක්‌ පිහිටීම කරුණාවන්ත බවේ සංකේතයකි. තදින් වැසුණු කුඩා මුවක්‌ ඇති පුද්ගලයා විශ්වාස කළ නොහැකිය. දෙකෙළවර පහතට නැමුණු මුඛයක්‌ ඇත්තා උදාසීන චරිතයක්‌ ඇති ආත්මාර්ථකාමී කපටි අදහස්‌ ඇත්තෙකි. කෙනකුගේ තොල් සඟල සිරස්‌ ඉරකින් නැතිනම් රේඛාවකින් අවසන් වේ නම් එවැන්නකුට තෘප්තිමත් චරිත ස්‌වභාවයක්‌ ඇති අතර ප්‍රබල චරිතයක්‌ ද හිමිවේ.

තොල් පළල්ව පිහිටි අය කාමුක ගතියෙන් වැඩි අතර ශිෂ්ඨත්වයෙන් අඩු බව ද පෙන්නුම් කරයි. බෙහෙවින් පටු නළලින් නොමේරූ මනසක්‌ ඇති මනුෂ්‍යත්වයට නිගාදෙන පුද්ගලයකු හැඳිනගත හැක. කොතනක ගියත් කාගේත් අවඥවට ඔවුන් භාජනය වනුයේ සහජයෙන්ම ඔවුන් තුළ පිහිටි නොමිනිස්‌ ගති පැවතුම් නිසාමය. දුර්වල ධාරණ ශක්‌තියක්‌ ඇති එවැන්නෝ ඉගෙනීමට ද අදක්‍ෂයෝ වෙති. අභාග්‍යවන්තකම ඔවුන්ගේ ජන්ම දායාදයකි.

කාන්තාවකගේ ලලාටයෙහි දකුණු පැත්තට බරව තලකැලලක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටීම ශුභ ලකුණක්‌ බව පූර්වාචාරීන් නිගමනය කර ඇත. පින්වත් පුරුෂයකුට බිරිඳ වන ඇය සුපින්වත් දූ පුතුන් ලැබ සතුටින් ජීවත්වීමට වාසනාව ඇත. ඇහිබැම සිට ඉදිරියට නෙරා ඇති නළල් තලයක්‌ පිහිටියේ නම් අහංකාර සිත් ඇතිවීම ද කපටි ගතිය ද වාද විවාදවලදී ඉතා ඉක්‌මනට කෝපවන ගතිය ද බද්ධ වෛරය ද නොකටයුතුකම්වලින් සතුරන් ඇතිකර ගැනීම ද නිතර ලෙඩින් පෙළීම ද සිදු වේ.

යම් කතකගේ නාසය අග ඉතා මහත්ව පිහිටා මැද එය කැවී යන ආකාරයෙන් පිහිටියහොත් එය ද අශුභ ලකුණකි. එබඳු කතුන්ට නොයෙක්‌ විට යම් යම් කරදරවලට මුහුණපෑමට සිදුවේ. තවද ඔවුන් ගන්නා හදිසි තීරණ නිසා දුක්‌ කම්කටොලුවලට ද මුහුණපානු ඇත. එවැනි අය ඉතා ආඩම්බර ගති පැවතුම් ඇති අය ලෙස හඳුනාගත හැක. අලංකාර ලෙස දිග්ව කෙළින් පිහිටි නාසය ඇති කාන්තාවට නොයෙකුත් සුභ ඵල ගෙනදෙයි. යන එන හැම තැනකදීම මුල් තැන හිමිවෙයි. මෙබඳු කාන්තාවන් ඉතා වාසනාවන්තය. සැප සම්පත් හිමි යහපත් සැමියකු ද ලැබෙනු ඇත. දික්‌ වූ නාසය පිහිටියේ නම් ඇය වුවමනාවට වඩා දුක්‌ කරදර උසුලයි. මෙය ඉතා අශුභ ලකුණක්‌ බව දේහ ලක්‍ෂණ විද්‍යාවෙන් පෙන්නුම් කරයි.

දෙකට බෙදී ගිය නිකට ඇති පිරිමින් ඔබ කොතෙකුත් දැක ඇත. අරපරිස්‌සමින් ජීවත්වෙන ඔවුහු කුමන ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධියට පත්වන්නාහ. කීර්තිමත් ව්‍යාපාරිකයන්ට බොහෝ විට එවන් නිකටක්‌ පිහිටයි. පළල් නිකටින් ප්‍රදර්ශනය වන්නේ ධෛර්යවත් පුරුෂයෙකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍ෂණික තීරණ ගන්නා ඔහු අටලෝදහමින් කම්පා වන්නෙක්‌ ද නොවේ. චතුරස්‍රාකාර හැඩයෙන් යුත් දිගටි නිකටක්‌ පිහිටන්නේ නිර්භීත පුරුෂයන් වෙතය. මුහුකුරාගිය බුද්ධි බලයක්‌ ඔවුන් සතුය.

හතරැස්‌ හැඩයක්‌ ගන්නා උඩට නෙරන ලද නිකට සුභ නොවේ. දරදඬු පුද්ගලයෙක්‌ එමගින් හඳුන්වා දෙයි. සුදුමැලි මුහුණක්‌ පිහිටියේ නම් මාංශ භක්‍ෂණයෙහි ආශා ඇති බව ද භය සහිත බව ද පෙන්නුම් කෙරේ. රක්‌ත වර්ණ වූ මුහුණක්‌ පිහිටියේ නම් දුර්වලතාවය ද සිහි නුවණ අඩු බව ද ශරීර ශක්‌තිය අඩු බව ද රෝග පීඩාවලට යටත් වන බව ද කියෑවේ.

බැලූ බැල්මට කැපී පෙනෙන තවත් අංග ලක්‍ෂණයක්‌ වූ දෙබැම ද දේහ ලක්‍ෂණ විද්‍යාවේදී විශේෂ ස්‌ථානයක්‌ හිමි වේ. ඒ අනුව දෙබැම අනුසාරයෙන් ද කාන්තාවකගේ චරිතය විනිවිද දැකීමට පුළුවන. එබඳු අවස්‌ථාවකදී "කෘතිම දෙබැම" ගැන සැලකිලිමත් විය යුතුය. සුනිල වර්ණ සුසිනිදු රෝමයන්ගෙන් සුසැදි දේදුන්නක හැඩයගත් බැමි යුග්මය ප්‍රශස්‌ථ ලක්‍ෂණයක්‌ බව පැරණි සෘෂිවරුන් ප්‍රකාශ කර ඇත.

ඉසුරුමත් දිවියකට හිමිකම් කියන ලාලනියන් කෙරෙහි එවැනි ලක්‍ෂණ පිහිටන බව කියෑවේ. ඇදක්‌ නොමැති දෙපසට විහිද යන දෙබැම අශුභ ලක්‍ෂණයකි. කාන්තාවන් කෙරෙහි අනිවාර්යයෙන්ම පිහිටිය යුතු ආචාරශීලී ගති පැවතුම් බොහෝ විට ඇය කෙරෙහි දක්‌නට නොලැබෙයි. ප්‍රමාණයට වඩා ලොම් ඇති බැමි යුගලය ද අනිෂ්ඨ ලක්‍ෂණයක්‌ බව දැනගත යුතුය. කාන්තිමත් පෙනුමකින් යුත් නිල් පැහැති ඇස්‌ යුවළක්‌ හිමි කාන්තාව බොහෝ සම්පත් ලබයි. ඇය ලබන පුරුෂයා ද වාසනාවන්ත වූ දරුවන් ලැබ දිවි ඇති තුරාම සතුටින් ගත කරති.

දිලිසෙන කුඩා ඇස්‌ ඇත්තා වූද මධ්‍යම ප්‍රමාණයේ සියුම් ඇහිබැමි හා පිහාටු ඇත්තා වූ කාන්තාව ද වාසනාවන්තය. පෙනෙන නොපෙනෙන තරමේ වපරය ඇති කාන්තාව ද යහපත්ය. විවාහයෙන් පසු සැමියා ධනවත් වේ. පිඟුවන් ඇස්‌ හා සිනාසෙන කල්හි වළ ගැසෙන දෙකොපුල් ඇති අය ද රළු, පරළුහඬ, රළු ඇස්‌ හා නාසිකා, අතිශයින් තුනී වුවද දත් පිහිටීම යන මෙම ලකුණු ඇති ස්‌ත්‍රීන්ට ආයුෂ හා
ධන සම්පත් හීන වේ. කාන්තාවන්ගේ දසන් කවියන් මුතුවලට සම කළහ. සුදු පැහැති එවන් ලස්‌සන දත් දෙපළක්‌ ඇති ලලනාවන්ගේ සුසුඳු සිනහව සෞභාග්‍යයේ සංකේතයක්‌ වෙයි

 මිතුරන්ට share කරන්න.
 ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාව facebook පිටුවෙන් උපුටා ගන්නා ලදී

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews