9/12/16


‘ආටක නාටක’ ටෙලිනාට්‍ය මාලාව නරඹන ප්‍රේක්ෂකයෙකුට ඔහු අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නොවෙයි. මේ වනවිට ‘සුරං’ ලෙස කා අතරත් ජනප්‍රිය සුරංග සතරසිංහ තම නිවෙසේම කෙනෙක් මෙන් ප්‍රේක්ෂකයනට සමීප වී හමාරයි. මෙවර කැදැල්ල විශේෂාංගය ඔස්සේ සුරංග සහ ජෙනී සතරසිංහ යුවළගේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා. ගොඩගම, පැලඳගොඩ, තැඹිලි උයනේ පිහිටි ඔවුන්ගේ සොඳුරු කැඳැල්ලට අපි ගොඩ වැදුණේ ඒ වෙනුවෙන්.



‘සුරං’ මේ දවස්වල නාටක නිසාම ජනප්‍රියත්වයට පත්වූ චරිතයක් වෙලා?
මේ දවස්වල විකාශය වන ‘නාටක මාරයි හතේ දී මාරයි’ ටෙලිනාට්‍ය මාලාවත් එක්ක තමයි කාලය ගෙවෙන්නේ. එය දිනපතාම යන නාට්‍යයක්. මේ නිසා ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරනවා. ඊට අමතරව අපේ කණ්ඩායම නවතම වේදිකා නාට්‍ය නිර්මාණයකටත් මේ දවස්වල සූදානම් වෙනවා. එයත් ප්‍රහසනමය වේදිකා නාට්‍යයක්. ඒ නාට්‍යය නරඹන අයට එකම නාට්‍ය ඇතුළේ තවත් නාට්‍ය පහක් බලන්න අවස්ථාව ලැබෙනවා. මෙය තරමක් වෙනස්ම ආකාරයක වේදිකා නාට්‍යයක්. මේක නම් කර තිබෙන්නේ ‘ඔන්න කනෝ පිනුම්’ කියලයි. අන්ධ මිනිහෙක් ඉස්සරහ පිනුම් ගහලා සිදුවන සිදුවීම් මාලාවක් තමයි මෙයට පාදක වෙන්නේ. මෙයින් අදහස් කරන්නේ ග්‍රාමීය වහරේ එන හාස්‍යමය මාතෘකාවක් ගැනයි.

කවුරුත් ඔබ හඳුනන්නේ ‘සුරං’ කියලයි?
සාමාන්‍යයෙන් හාස්‍යමය නාට්‍ය රඟ දක්වන විට ප්‍රේක්ෂකයන් අතරට යාමට පහසු නමක් තිබිය යුතුයි. මගේ සැබෑ නම සුරංග සතරසිංහ. මේ නිසා මටත් පහසුයි ප්‍රේක්ෂකයාටත් පහසුයි ‘සුරං’ කියල කෙටියෙන් හඳුන්වන කොට.

හාස්‍ය නාට්‍ය නිර්මාණ සිදුකිරීම තරමක අපහසු කටයුත්තක් නේද?
ඇත්ත. මෙහෙමයි. හාස්‍යය කියන්නේ අපහසු සහ මහන්සි වෙලා සොයාගත යුතු කලාවක්. මේ කලාවට ලෝකයේ බොහොම අඩු පිරිසක් තමයි දායක වන්නේ. අනෙක හාස්‍ය නිර්මාණ රචනා කරමින් රඟපාන නළු නිළියන් ඉතාම ස්වල්පයයි ඉන්නේ. සාමාන්‍යයෙන් සිදුවන්නේ වෙන කෙනෙක් ලියන පිටපතකට හාස්‍ය රංගන ශිල්පියා හෝ ශිල්පිණිය හාස්‍ය රංගන‍යක් ඉදිරිපත් කිරීම පමණයි සිදුවන්නේ. මට ඒ අඩුව පුරවන්න අවශ්‍ය වුණා. ඒ අනුව මම පිටපත් රචනය ලියමින් නාට්‍ය අධ්‍යක්ෂණය කිරීම සිදු කරනවා.

ඔබේ පෞද්ගලික දිවියේ තොරතුරු දැනගන්න කැමැතියි?
මම විවාහකයි. මගේ බිරිය ජෙනී සතරසිංහ. ඇය පාසල් ගුරුවරියක්. පුතා සංගීත් සතරසිංහ. ජෙනී මාත් එක්ක රංගනයේ යෙදෙනවා. පුතා ආරම්භයේදී මේ නාට්‍ය වලට දායක වුණා. නමුත් දැන් ඔහු ජීවත්වෙන්නේ ඇමෙරිකාවේ.

ඔබගේත් ජෙනීගේත් හමුවීම මතක් කරන්න කැමැතිද?
මට ඇය මුණ ‍ගැහෙන්නේ සීගිරියේදී. මගේ පියා සීගිරියේ ඉඩම් අරගෙන වගා කටයුතු කළා. එතැනදී තමයි ජෙනීව හමුවන්නේ‍. අවුරුදු පහක් පමණ මමත් ඇයත් ප්‍රේම කළා. පසුව විවාහ වුණා.

රංගනයෙන් මිදී විවේකයෙන් ගත කරන්න ලැබෙනවාද?
අපි දෙන්නටම විවේකය කියන දේ කලා කටයුතු නිසාම අද අඩුවෙලා තිබෙනවා. විවේකයක් ලැබුණොත් මමයි ජෙනියි දෙන්නම ලංකාවේ අපි නොගිය තැන්වල තමයි ඇවිදින්න යොදාගන්නේ. නිශ්චිත තැනක් කියලා නැහැ. විශේෂයෙන් ම නොගිය තැන්වලට නම් අනිවාර්යයෙන් ම යනවා.
ඒ වගේ ම පිටරට සංචාරයකත් නියැළෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට අපි දෙන්න යන්නේ අපේ මනසට කුඩා හෝ විවේකයක් ලබාගන්න. මොකද නිතරම නිර්මාණකරණයේ යෙදෙන නිසා අපට හමුවෙන විශේෂ චරිත, කතා තේමා ගැන හොඳ හෝඩුවාවන් මේ සංචාරයන්ගෙන් අපට හමුවෙනවා.

ඔබ දැන් වෘත්තියමය නළුවෙක් වෙලා ද?
වෘත්තීය මට්ටමෙන් නළුවෙක් වෙනවා නම් මුළු ජීවිතයම ඒ වෙනුවෙන් කැප කළ යුතු වෙනවා.
සමහර වෙලාවට මේ නිර්මාණ කටයුතුත් එක්ක පාන්දර 4.00 පටන් අරගෙන හැමදාමත් රෑ 12 එක දෙක වෙනකම්ම ඉන්න සිද්ධ වෙනවා.
අපිට ජීවත්වෙන්න අමුතු වෙලාවක් නැහැ. ජීවිතය ගෙවී යන්නේ මේ නිර්මාණ කටයුතුත් එක්ක. එනිසා මම හිතන්නේ මම දැන් වෘත්තීමය නළුවෙක් වෙලා ඉවරයි කියලයි‍.

ඔබේ ජෙනී ගැන දැන ගන්න කැමැතියි?
ජෙනී කියන්නේ බොහොම අහිංසක කෙනෙක්. එයාගෙ ලෝකෙ ඉන්නෙ මමයි පුතයි විතරයි. ඇයගේ සහයෝගය නිබඳවම මගේ කලා නිර්මාණවලට හිමිවෙනවා. ඕනම දෙයක් මට නිර්මාණය කරල මුලින් ම රස විඳින්න දෙන්නේ ඇයට. ඇයට හොඳ රසඥතාවයක් තිබෙනවා‍. ගුරුවරියක ලෙස ඇයත් වගකීම් සහගත රැකියාවක නියැළෙන්නියක්. ඇගෙන් මට ලැබෙන සහයෝගය විශාලයි. ඇය ඉතා සුන්දර කාන්තාවක්.

සුරංග ගැන මොකද හිතෙන්නේ?
මම මීළඟ ප්‍රශ්නය වමසුවේ සුරංගගේ ආදරණීය බිරිය ජෙනීගෙනුයි.සුරංගට පිහිටලා තිබෙන්නේ කලාතුරකින් ලැබෙන සුවිශේෂී හැකියාවක්. කොච්චර වැඩකටයුතු තිබුණත් සුරංග ජීවත් වෙන්නේ කතාවෙමයි. මම දකින්නේ කතාතුරකින් තමයි සුරංග වගේ අය බිහිවෙන්නේ.

එදා දැකපු සුරංගම ද තවමත් ඉන්නේ?
සත්තකින්ම. එදා දැකපු සුන්දරමිනිසාම තමයි එයා තුළ අදටත් ජීවත් වෙන්නේ. මගේ ජීවතේ යාළුවත් එයා. මගේ හැදේම එයා. මට මගේ තාත්තා වගේම ආදරෙයි. මට එයා සලක්න්නේ දරුවෙකුට වගේ. ලෙඩ දුකක් හැදුණොත් දොස්තරට මගෙ රෝග ලක්ෂණ පවා කියන්නේ එයා. ඒ තරම් ආදරවන්ත සැමියෙක් සුරංග. මම හිතන්නේ ගැහැනියකට කලාතුරකින් ලැබෙන ස්වාමි පුරුෂයෙක් ඔහු.

යන එන තැන්වල දී ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
කියලා වැඩක් නැහැ. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය හරිම ආදරණීයයි. හරිම වාසනාවක් ලෙස හැඟෙනවා. අපි කොතන ගියත් ටක් ගාලා අඳුන ගන්නවා. ඒ තරමටම ප්‍රතිචාර ඔවුන්ගෙන් ලැබෙනවා.

ජීවිතයේ අමතක නොවන අත්දැකීම් මොනවාද?
අපි දෙන්නගෙම ජීවිතේ විස්මය ජනක අත්දැකීමක් තියෙනවා. ත්‍රස්තවාදී කළඹළ අතරේ නෝලිමිට් ආයතනයේ බෝම්බ පිපුරුණු දවස අපි දෙන්නටම අමතක වෙන්නේ නැහැ. සුරංග මට ඇඳුමක් අරගෙන සල්ලි ගෙවන්න පෝළිමේ ඉඳළා. එක පාරටම ඒ වෙලාවෙ තමයි බෝම්බෙ පිපිරිලා තිබුණේ. සුරංගට ඉස්සරහින් හිටපු අයත් පිටුපසින් හිටපු අයත් මියගිහින් තිබුණා. සුරංග ඉන්නතැනම කණුවක් තිබිලා ඒක නිසා එයා ආරක්ෂා වුණා. කොහොම හරි ඒ සිදුවීම වෙලා පැය කීපයකට පසු තමයි මට කතා කළේ. ඇඟ පුරාම වීදුරු කටු.




NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews