9/13/16


සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තරිඳු විජේසිංහ

ඔස්ටියෝපොරෝසිස් රෝගය පිළිබඳ මීට කලින් සතියක ඉතා කෙටියෙන් සඳහන් කළා ඔබට මතක ඇති. අද අපි ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරමු.

කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඇවිදින ආච්චිලා සීයලා සමහරවිට ඔබත් දැක ඇති. වයසට ගියාම අපටත් එහෙම වේවිද කියා ඔබටත් සිතෙන්න ඇති. කුදුවීම වයස් ගත වීම නිසාම ඇතිවන දුබලතාවක් නොවේ. එය එක්තරා රෝගයක රෝග ලක්ෂණයක්. ‘ඔස්ටියෝපොරෝසිස්’ ලෙස හැඳින්වෙන්නේ එම රෝගයයි.


‘ඔස්ටියෝපොරෝසිස්’ යනු අස්ථි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන බෝ නොවන ‍රෝගයක්. ශරීරයේ අස්ථි නිර්මාණය වී තිබෙන අස්ථි බදාමය දුර්වල වී අස්ථි ව්‍යුහය වෙනස්වීම් වලට භාජනය වීමෙන් මෙම රෝගය ඇතිවෙනවා. මෙහිදී සිදුවන්නේ ශරී‍රයේ තිබෙන අස්ථි ස්කන්ධය (අස්ථි ප්‍රමාණය) ක්‍රමයෙන් අඩුවීමයි.

එසේ ම අස්ථි ව්‍යුහයේ ඇතිවන දුර්වලතාවය නිසා අස්ථි සතු බර දරා ගැනීමේ හැකියාව අඩුවීමයි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඉතාම සුළු වැටීමකින් පවා අස්ථි බිඳීයාමයි. මෙහිදී සඳහන් කළයුතු වැදගත් කරුණක් වන්නේ ශරීරයේ සිදුවන සෑම අස්ථි බිඳීයාමකට හේතුව ඔස්ටියෝපොරෝසිස් රෝගය නොවන බවයි. කිසියම් පුද්ගලයකු ගසකින් වැටීම වාහනයක ගැටීම වැනි අනතුරක් නිසා සිදුවන අස්ථි බිදීයාම සිදුවන්නේ ඔස්ටියෝපොරෝසිස් රෝගය නිසා නොවෙයි. ඔස්ටියෝ පොරෝසිස් රෝගයට ගොදුරුවීමේ වැඩිම අවධානම තිබෙන්නේ කාන්තාවන්ට.

ආර්තවහරණය එනම් ඔසප්වීම සම්පූර්ණයෙන් ම නැවතුණ පසුව කාන්තාවන් මෙම අවදානමට මුහුණ දෙනවා. ඊට හේතුව ආර්තවහරණයෙන් පසුව ඊස්ට්‍රජන් නම් හෝමෝනය කාන්තාවන්ගේ ශරීරය තුළ හීනවීමයි. එවිට අස්ථි පටක නිපදවීම ඇනහිටිනවා.

මීට අමතරව ඔස්‍ටියෝපොරෝසිස් රෝගයට යමකු ගොදුරුවීමට තවත් හේතු කීපයක්ම බලපානවා. සිහින් සිරුරක් තිබීම, පවුලේ මව, සොයුරිය වැනි සමීපතම සාමාජිකාවන් මෙම රෝගයට ගොදුරුවීම කැල්සියම් විටමින් ‘ඩී’ ඌනතාවය, ප්‍රෝටීන් ඌනතාවය, දුම්පානය, මත්වතුර පානය මෙන් ම ඇතැම් ඖෂධ වර්ග දීර්ඝ කාලීනව ගැනීම වැනි හේතු නිසා ද මෙම රෝගයට ගොදුරුවීමේ අවදානම වැඩිවෙනවා. විශේෂයෙන් ම “ටෙස්ටොස්ටෙරෝන්” හෝමෝනය ශරීරයේ අඩු පිරිමින් ද ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවීමේ අවදානම වැඩි බවත් හෙළිවී තිබෙනවා.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 – 70 අතර වයසේ පසුවන කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයකු මෙම රෝගයෙන් ප‍ීඩා විඳිනවා. එසේම වයස අවුරුදු 80 ඉක්මවූ කාන්තාවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් ම මෙම රෝගයෙන් පීඩා විඳිනවා‍. බොහෝ වැඩිහිටි කාන්තාවන් පවසන කොන්දේ අමාරුවට හේතුව ඔස්ටියෝපොරෝසිස් රෝගය විය හැකියි.

ඔස්ටියෝපොරෝසිස් රෝගය ශරීරය තුළ වර්ධනය වන්නේ ඉතා සෙමින් සහ නිහඬව. බොහෝ දෙනෙක් තමන් මෙම රෝගයට ගොදුරු වී ඇති දැයි දැනගන්නේ සුළු වැටීමක් වැනි දෙයකින් අස්ථි බිඳීයාමක් සිදුවූ පසුවයි.

වියපත් පුද්ගලයින්ගේ උකුල් ඇටයේ අස්ථි බිඳී යාම ඔස්ටියෝපොරෝසිස් රෝගයේ ප්‍රධානම ගැටලුවයි. ඊට අමතරව කොඳු ඇට පෙළෙහි අස්ථි බිඳීයාමක් ද සිදුවිය හැකියි. අස්ථි බිඳීයාම මෙම රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වනවා සේම කොඳුඇට පෙළෙහි ඇතිවන වක ගැසීම (කුදුවීම), කල් පවතින කොන්දේ වේදනාව, ඍජු කාය විලාසයේ ඇතිවන වෙනස්කම්, මෙහිදී පෙන්නුම් කරන තවත් රෝග ලක්ෂණ කිහිපයක්.

අස්ථි බිඳීයාම ගැන සඳහන් කරන විට උකුල් ඇටය බිඳීයාම ප්‍රධානතම ගැටලුව බවට පත්වන්නේ එයින් එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වයට විශාල බලපෑමක් විය හැකි නිසයි. උකුල් ඇටය බිඳීයාම රෝහල් ගත කිරීම්වලට මෙන් ම අස්ථි බිඳීයාම නිසා සිදුවන මරණවලට ද බෙහෙවින් හේතු වනවා. උකුල් ඇටය බිඳී ගිය රෝගීන් ගෙන් 50% කටම වසරකට පසුව වුව ද ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු කර ගැනීමේදී ‍වෙනත් අයකුගේ සහාය පැතීමට සිදුවෙනවා.

උකුල් ඇටය බිඳීයාමෙන් අත්වන ප්‍රතිඵල ජීවිතයට ඉතා අනතුරු දායක විය හැකියි. බිඳුණු අස්ථිවල වේදනාව, ගමන් කිරීමට එදිනෙදා වැඩපල කර ගැනීමට අපහසු වීම, මානසික ආතතිය මෙන් ම විෂාදය ඇතිවීම, එක්තැන් වුවහොත් ඇඳ තුවාල ඇතිවීම, නියුමෝනියා ‍රෝගයට ගොදුරුවීම, පාදවල සහ පෙනහළුවල රුධිර කැටි ඇතිවීම වැනි ගැටලු මෙහිදී ඇතිවනවා. වැටීමකදී උකුල් ඇටයට පීඩනයක් ඇති නොවන සේ වැටෙන දිශාව වෙනස් කිරීමට හැකි තරම් උත්සාහ ගත යුතුයි‍.

ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු නොවීම සඳහා අප කළ යුත්තේ කුමක් ද යන්න දැන් විමසා බලමු. මෙම රෝගයෙන් මිදීම සඳහා අවශ්‍ය වන ප්‍රධානතම සාධකය වන්නේ උපතේ සිට මරණය දක්වා ගෙවන ජීවිත කාලය තුළ පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් දිනපතා ලබාගැනීමයි. දෙවැනි සාධකය වන්නේ ව්‍යායාම කිරීමයි. පළමුව අපි පෝෂ්‍යදායි ආහාර වේල පිළිබඳ තොරතුරු විමසා බලමු.ප්‍රෝටීන, මේදය, කා‍බෝහයිඩ්‍රේට මෙන්ම ඛනිජ ලවණ ද පෝෂ්‍ය දායි ආහාර වේලට ඇතුළත් විය යුතුයි.

මෙම ‍රෝගය පිළිබඳ කතා කරන විට කැල්සියම් සහ විටමින් ‘ඩී’ පිළිබඳ විශේෂයෙන් කතා වෙනවා. අපගේ ශරීර‍යේ අස්ථිවලට කැල්සියම් උපරිම අයුරින් උරා ගන්නේ වයස අවුරුදු 35 දක්වා පමණයි. ඕනෑම පුද්ගලයකුගේ අස්ථි වර්ධනය වන්නේ ළමා වියේදී. ඒ සඳහා කැල්සියම් සහ විටමින් ‘ඩී’ ඉතාම අවශ්‍යයි. ළමා වියේදී ශරීරයට නිසි අයුරින් මෙම පෝෂ්‍ය පදාර්ථ දෙක නොලැබීම වයස් ගත වූ විට ඔස්ටියෝපොරෝසිස් ‍රෝගයට ගොදුරුවීමට ප්‍රධානම හේතුවක්.

ඕනෑම පුද්ගලයකුගේ ශරීරයට වැඩියෙන් ම කැල්සියම් අවශ්‍ය වන වයස් සමය වන්නේ අවුරුදු 10 – 18 අතර කාලයයි. ඒ අස්ථි වර්ධනය වන සමයයි. කිරි, යෝගට්, චීස්, හාල්මැස්සන් වැනි කුඩා මාළු, මුරුංගා, කතුරුමුරුංගා කැරට් කොළ වැනි කැල්සියම් වලින් පෝසත් ආහාර වර්ග දරුවන්ට ලබාදීමෙන් ළමා වියේදී ශරීරයට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය පහසුවෙන් ලබාගත හැකියි. අධි කැල්සියම් අඩංගු කෘත්‍රිම පානයන් නිතර ගැනීම වෙනත් රෝගවලට හේතුවක්. අපේ ශරීරයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය එදිනෙදා ගන්නා සාමාන්‍ය ආහාර වේල මඟින්ම ලබාගැනීම වැදගත්. එහෙත් වෛද්‍ය නිර්දේශ මත කැල්සියම් ඖෂධ මෙන් ම අමතර ආහාරයන් ලෙස ගැනීමට ද සිදුවෙනවා.

නිසි පෝෂණය මෙන් ම නිසි ව්‍යායාම ද ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් මිදීමට හේතු වනවා. අස්ථි පද්ධතිය ශක්තිමත් වීමට ව්‍යායාම අත්‍යවශ්‍යයි. අස්ථි පද්ධතිය ශක්තිමත් වන්නේ බර ඉසිලීම, කාය වර්ධන ව්‍යායාම වැනි ව්‍යායාම මඟින්. මෙහිදී තමන්ගේ ශරීරයේ බර උසුලා ගැනීමෙන් කරන උඩ පැනීම, දිවීම, ඇවිදීම වැනි ව්‍යායාම ඉතා වැදගත්.

සතියකට සැතපුම් 3 – 5 ක් පමණ ඇවිදීම මඟින් ද අස්ථි ශක්තිමත් වෙනවා. තරුණ වියේ පසුවන අයකු නම් ලණුවක් යොදා තැනූ උපකරණයක් යොදා ගනිමින් උඩපැනීම (ස්කිපින්) සුදුසු වන අතර මැදි වියේ පුද්ගලයකුට ඉක්මනින් බර අඩි තබමින් ඇවිදීම, දිවීම මෙන් ම විවේකීව සිදු කරන දිවීම (ජොගින්) වැනි ක්‍රියාකාරකම් අස්ථි ශක්තිමත් කිරීමට ඉතා සුදුසුයි. ඔස්ටියෝපොරෝසිස් රෝගය පිළිබඳ කතා කරන විට මෙම රෝගයෙන් වැළකී සිටීමට මෙන් ම මිදීමට පිහිනීමෙන් විශාල උදව්වක් ලැබෙන්නේ නැහැ. එසේ වුවත් මාංශ පේශි ක්‍රියාකාරිත්වයට පිහිනීම හොඳින් උදවු වෙනවා.

සිරුරට නම්‍යතාවයක් ගෙන දෙන ව්‍යායාම ද ඔස්ටියෝපොරෝසිස් රෝගීන් සඳහා අවශ්‍යයි. නම්‍යශීලී සන්ධි ඇතිවිට සන්ධිවල තුවාල සිදුවන්නේ නැහැ. ඒ සඳහා නිතර දිගැදීමේ (STRETCHES) ව්‍යායාමවල යෙදීම සුදුසු යි.

දැනටමත් ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරු වී ඇති පුද්ගලයින් ව්‍යායාම ආරම්භ කිරීමට ‍පෙර වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්. ඒ අස්ථි දුරුවලවී ඇත්නම් දිවීම, උඩපැනීම වැනි සන්ධිවලට වැඩි පීඩනයක් ලැබෙන ක්‍රියාවලදී අස්ථි පිපිරී යාමට ඉඩ ඇති නිසයි.
අස්ථි ක්ෂයවී ඇත්නම්, සන්ධිවලට අඩු බලපෑමක් එල්ලවන ඇවිදීම, නර්තනය, ගෙවතු වගාව වැනි ක්‍රියාවන්හි යෙදිය හැකියි.

ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවුවන් ඉණෙන් නැවීම, කරකැවීම බඳු ව්‍යායාමවල යෙදිය යුත්තේ ඉතා ප්‍රවේශමෙන්. එසේම ඔස්ටියෝපොරෝසිස් ‍රෝගීන් නැමී මහපට ඇඟිල්ල ඇල්ලීම, ගෝල්ෆ්, ටෙනිස් වැනි ක්‍රීඩාවල යෙදීම ඇතැම් යෝග ව්‍යායාම ඉරියව්වල යෙදීමට පෙර‍ වෛද්‍ය උපදෙස් පැතීම ඉතා වැදගත්. එමෙන් ම උදෑසන හිරු එළියට නිරාවරණය වෙමින් ව්‍යායාම කිරීම අස්ථි ශක්තිමත් වීමට ඉතාම අවශ්‍යයි.
කාන්තාවන් තුළ ආර්තවහරණයට ආසන්නවත්, ආර්තව හරණයෙන් පසුවත් අස්ථි ඛනිජ ඝනත්වය, අස්ථි ධාරිතාව, ඩෙක්සා ස්කෑන් පරීක්ෂාව මඟින් ඉතා හොඳින් පරික්ෂා කර ගත හැකියි.

ඔස්ටියෝපොරෝසිස් රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේදී කැල්සියම්, විටමින් ඩී සහ බිස්ෆොස්ෆනේට් ලබාදී රෝගියාගේ අස්ථි ශක්තිමත් කළ යුතුයි. ඒ මඟින් අස්ථි සිඳීමට ඇති ඉඩකඩ අවම වෙනවා. කලාතුරකින් රෝගීන්ට පැරාතයිරොයිඩ් හෝමෝනය ලබාදීමට ද සිදුවෙනවා. ඔස්ටියෝපොරෝසිස් රෝගයට ගොදුරුවූ අයකු වැටීමෙන් වළක්වා ගැනීම ඉතාම වැදගත්. ඒ සඳහා අවශ්‍ය නම් නිවසේ පරිසරය වුව ද වෙනස් කළ යුතුයි.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews