9/14/16


හොලිවුඩ් චිත්‍රපට බලන අයටනම් ග්‍රෑන්ඩ් කැන්යොන් කියන මෙම ස්ථානය බැලූ බැල්මටම හඳුනාගන්න පුළුවන්. කිලෝමීටර් 446ක් දිග කිලෝමීටර් 29ක් පළල හා කිලෝමීටර් දෙකකට ආසන්නවූ මෙම සුවිශාල දොරුව ලෝකයේ වැඩියෙන්ම ප්‍රසිද්ධ ස්ථාන වලින් එකක්. ග්‍රෑන්ඩ් කැනියොන් හි දිග ශ්‍රීලංකාවේ පේදුරු තුඩුවේ සිට දෙව්න්දර තුඩුව දක්වා ඇති දිගටත් (කිලෝමීටර් 440) වඩා වැඩි බව කිව්වොත් ඔබට මෙහි විශාලත්ව ගැන නිවැරැදි අවබෝධයක් ඇති විය යුතුයි. මෙවැනි නෙරීම් සහිත සුවිශේෂී භූ ලක්ෂණයක් මෙහි ඇති වී තිබෙන්නේ කොලරාඩෝ නදිය හා එහි අතු ගංඟා මෙම භූමිය මතින්ගලා යන විට කොලරාඩෝ සානුව ටිකින් ටික ඉහළට පැමිණීම නිසායි.






වසර දහස් ගණනක සිටම මෙම ස්ථානය ස්වදේශික ඇමෙරිකානුවන් හෙවත් රතු ඉන්දියන්වරුන් ගේ ජනාවාසයන් පැවතුණු ස්ථානයක්. සානුව තුළ මෙන්ම සානුවෙහි ඇති ගල් ගුහා තුළද ඔවුන් ජීවත් වී තිබෙනවා. අදටත් Pueblo ජනයා ග්‍රෑන්ඩ් කැනියොන් භූමිය ශුද්ධ භූමියක් සේ සලකන අතර ඔවුන් වන්දනාමානය සඳහා මෙහි පැමිණෙනවා. රතු ඉන්දියානුවන් හැරුණු විට ග්‍රෑන්ඩ් කැනියොන් මුලින්ම දැක ඇති යුරෝපීය ජාතිකයා වන්නේ ගාර්සියා ලෝපෙස් (Garcia Lopez de Cardenas) නම් වර්ෂ 1540දී ස්පාඤ්ඤයෙ සිට පැමිණි පුද්ගලයකු වනවා.

ග්‍රෑන්ඩ් කැනියොන් වසර මිලියන 6-7ක් පමණ පැරැණි බව මෙතෙක් පිළිගෙන තිබුණත් වසර 2012දී කර තිබෙන පර්යේෂණයක් මඟින් පවසා තිබෙන්නේ මෙය වසර මිලියන 70ක් පමණ පැරැණි විය හැකි බවයි. එහෙත් මෙම මතය තවමත් 100%ක් සනාථ කොට නැහැ. සෝදා යාමට ලක්වී මෙසේ නිමවීම නිසා පෘථිවිය සතු භූ ස්ථර සම්පූර්ණයෙන්ම හා ඉතා පැහැදිලිව දැකිය හැකි ස්ථානයක් ලෙස ද මෙය ප්‍රසිද්ධයි.
ග්‍රෑන්ඩ් කැනියොන් හි සානුව හා නෙරීම් වල ඇති උන්නතාංශයේ ඇති විශාල වෙනස්කම නිසා මෙහි කාලගුණයත් බොහෝ ලෙසින් වෙනස් වනවා.

සානුව දෙපස පිහිටි ඉතා උස් ගැටි වැනි නෙරීම් ශීත කාලයේදී හිම පතනය වීමට පවා භාජනය වන අතර සානුව තුළ ඇති ගංගාව ආශ්‍රිතව කාන්තාර දේශගුණයක් නිර්මාණය වී තිබෙනවා. කෙසේවෙතත් සාමාන්‍යයෙන් ග්‍රෑන්ඩ් කැනියොන් වියළි කාලගුණයට අයත් ප්‍රදේශයක්ලෙස හැඳින්වෙනවා. වර්ෂාවද වසරකට දෙවතාවක් මෙහි පතිතවන්නේ පැසිෆික් කුණාටු හා උතුරු ඇමෙරිකානු මෝසම් සුළං නිසායි. ග්‍රෑන්ඩ් කැනියොන් හි උෂ්ණත්වයත් අනෙක් කරුණු මෙන්ම විශාල වෙනස්වීමක් පෙන්නුම් කරනවා. ශීත කාලයේ සෙල්සියස් අංශක -17.8ක් පමණ ඉතා පහළ උෂ්ණත්වයක් ඇති මෙහි ගිම්හානයේදී සෙල්සියස් අංශක 37.8ක් වැනි උෂ්ණත්වයක් පෙන්නුම් කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පිරිසුදුම වාතය ඇති ස්ථානය වන්නේ මෙම ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයේ වාතය දූෂණය වීම අවම කිරීමට පාර්ලිමේන්තු පනත් පවා සම්මත කරගෙන තිබෙනවා. ශාක වර්ග 1737ක් මෙම ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර දිලීර වර්ග 167ක්, පාසි වර්ග 64ක් හා ලයිකන වර්ග 195ක් මෙම ග්‍රෑන්ඩ් කැනියොන් ජාතික උද්‍යානය තුළින් හමුවනවා. ක්ෂීරපායි සතුන් වර්ග 34ක් මෙහි වෙසෙන අතර එයට වවුලන් වර්ග 8ක් අයත් වනවා.

වර්ෂ 1919 පෙබරවාරි 26 වැනි දින ජාතික උද්‍යානයක් ලෙසින් නම් කර ඇති මෙම ප්‍රදේශයට වසරකට මිලියන 5ක පමණ විශාල ජනකායක් පැමිණෙනවා.ඔවුන් මෙහි පැමිණෙන්නේ කඳු තරණයට, බෝට්ටු පැදීමට, කඳවුරු බැඳීමට හා ස්වභාව සෞන්දර්යය රස විඳීමටයි. මෙහි භූ විෂමතා ලක්ෂණයන්ට අමතරව මනස්කාන්ත දිය ඇල්ලකට හා ලස්සන ගල් ගුහා සඳහාද මෙම ප්‍රදේශය ඉතා ප්‍රසිද්ධයි.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews