9/14/16


නළලත හැඩකරන රතු පොට්ටුවත් හිසකේ පුරා විසිරුණු පිචිච මල් වැලත් රත් දෙතොලත් රක්ත වර්ණ සාරියකින් සැරැසුණු ඇගේ උවනට එක් කරන්නේ අපූරු සිරියාවකි. එහෙත් ඒ සිරියාව ක්ෂණයකින් බියකරු පෙනුමකට හැරෙන්නේ , දෙනෙත් රතු පැහැ ගැන් වී ගැහැනු පෙනුම අභිබවා ගිය යකින්කගේ ස්වරූපය මවා පාමිණි. සැබෑවටම ඇය කවුරුන්ද? මේ දිනවල ලොකු පොඩි කාගේත් මුවග රැඳෙන්නේ ඇගේ නාමයයි. ඇය ‘මායා‘. සිනමාවට පායා ආ අලුත්ම තාරකාව ඇයයි. නගරයක් නගරයක් පාසා ගමක් ගමක් පාසා හන්දියක් හන්දියක් ගානේ ‘මායා‘ රුව රැගත් පෝස්ටර් අප නෙත් ගැටෙන්නේ කුතුහලයක් සිත තුළ ජනිත කරමිනි. සිනමා දිවියේ මෙන්ම සැබෑ දිවියේත් සමාජ අසාධාරණකම් හමුවේ පෙරළිකාරයකු වන සුපිරි නළු රන්ජන් රාමනායක මෙලෙස ‘මායා‘ට පණපොවන ‘මායා‘ත්‍රාසජනක චිත්‍රපටය මේ දිනවල සාර්ථකව සිනමාහල් රැසක තිරගත වන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව දිනා ගනිමිනි. සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්වීමක් හේතුවෙන් ගැහැනියක බවට පත්වන පිරිමියකුගේ ශෝකාන්තය රැගත් කතා පුවත්ක ඔස්සේ දිග හැරෙන ‘මායා‘ චිත්‍රපටය රන්ජන්ගේ සිනමා දිවියේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ චරිත නිරූපණයක් සහිත චිත්‍රපටයකි. මේ පෙළගැසෙනුයේ මායා පිළිබඳ රන්ජන් හා යෙදුණු පිළිසඳරකි.



මේ දවස්වල හැමදෙනාම කතා කරන්නේ ‘මායා‘ ගැනයි...?
ඇත්තටම. අද කොතැන ගියත් කොතැන බැලුවත් හැමතැනම ‘මායා‘ ගැන තමයි කතා වෙන්නේ. ඒ බව මට ලැබෙන ප්‍රතිචාර වලින්ම පෙනේනට තිබෙනවා.

‘මායා‘ චරිතය ඔබ මෙතෙක් රඟ පෑ චිත්‍රපට අතුරින් වෙනස්ම වූ සුවිශේෂී රංගනයක්?
මගේ රංගන ජීවිතයේ මම කරපු අසීරුම චරිතය මෙය කිව්වොත් නිවැරැදියි. මොකද වසර ගණනක් පුරාවට වීරයාගේ චරිත රඟපාපු මට මේ චරිතය රඟපාන එක හරිම අභියෝගයක් වුණා. මම මේ චරිතය කරත් දී මට හිතුණේ මම මීට පෙර හොඳම නළුවා සම්මාන ගත්ත චරිත නතිං නෙ කියලයි. ඒ වයේ දෙබස් කියලා චරිතෙට අනුගත වෙන්න විතරයි තිබුණේ. ‘මායා‘ එහෙම බැහැ. ඇවිදීම, හැසැරීම, කතාබහ , සටන් මේ හැම දේම ගැහැනියක වගේ කළ යුතු වුණා.

ඒ ගැන තව විස්තර කළොත්?
මම උදාහරණයක් කියන්නම්. මම මේ චිත්‍රපටයේ සටන් ජවනිකා පටන් ගත්තේ කාන්තාවක් විදිහට. නමුත් අතර මැද දී මම කාන්තා චරිතයක් රඟන බව මට අමතක වෙනවා. මම රඟපාපු වන්ෂොට්, ලීඩර් වගේ සටන් කරනවා. මේවා දකින ඩිරෙක්ටර් කෑගහගෙන මගේ ළඟට දුවගෙන එනවා. ඔහු මට මතක් කරනවා මම රඟපාන්නේ කාන්තාවකට බව. ආයෙත් මම කාන්තාවක් විදිහට ෆයිට් කරනවා. නැවතත් සුපුරුදු විදිහට හීරෝ ඉස්මතු වෙනවා. ආයෙත් ඩිරෙක්ටර් කට් කට් කියලා ළඟට එනවා. මේ විදිහට බොහොම කට්ටක් කාගෙන තමයි චරිතය රඟපෑවේ.

ඔබ මේ චරිතය රඟ පෑම මුල දී ප්‍රතික්ෂේප කළ බව පැවසෙනවා...
මට මේ චිත්‍රපටය කරන්න එන්න කියලා අරාධනා කරපු වෙලාවේ එය මම ප්‍රතික්ෂේප කළා. පසුව මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා මාව සොයාගෙන ආවා. ඇවිත් සික්‍රිප්ට් එක මගේ අතට දීලා මේ චරිතය විග්‍රහ කළා.‘මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි ‘මායා‘. ‘මායා‘ තමයි ඔයා කියලා කිව්වා. මේ චරිතය අභියෝගාත්මක ගැහැනු චරිතයක්.ඒක රඟපාන්න කියලා මට කතා කළා. මම මේ චරිතය රඟපාන එක ප්‍රතික්ෂේප කළ විට මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඩොනල්ඩ් ජයන්ත සහ නිෂ්පාදක සදේශ් කුමාර් එකහෙලාම කිව්වේ රන්ජන් ඔයා මේ චරිතය රඟනොපෑවොත් මේ චිත්‍රපටය නිර්මාණය කරන එක අත්හැර දමනවා කියලයි. අනෙක මේ චිත්‍රපටය විශාල වියදමක් දරලා නිර්මාණය කරන්නේ. මේ කලාවෙන් යැපෙන බොහෝ දෙනකුට මේ චිත්‍රපටය නැවතුණොත් වැඩ නැති වෙනවා. පස්සේ මේ ගැන සාකච්ජා වට කිහිපයක්ම පවත්වලා මගේ නීතිරීතිත් දාලා මම රඟපාන්න එකඟ වුණා.

මායා කියන්නේ අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරන චරිතයක්?
ඇය සටන් කරන්නේ ඉඩම් කොල්ලයකට විරුද්ධව ඇමැතිවරයෙක් සමඟ. මම දායක වුණේ හොඳ චරිතයක් රඟපාන්නයි. මේ චරිතය රඟපෑමට මම ගත්ත ඒ තීරණය හොඳ තීරණයක් බව මට හිතෙනවා. අනෙක මම හැමදාමත් මේ රටේ සමාජ අසාධාරණයට ලක් වූ පීඩිත ජනතාව වෙනුවෙන් තමයි පෙනී හිටියේ. ‘මායා‘ වැනි චරිත අද සමාජයේ වෙසෙන අහිංසකම ජන කොට්ඨාසයක්. මේ පීඩිත ජනතාවට උදව් වෙන්න කවුරුත්ම නැහැ. ලිංග විපර්යාසය නිසා සමාජ අසාධාරණයට,ගැරහීමට ලක් වූ මේ ජන කොටස ගැනයි ‘මායා‘ ඔස්සේ කතා බහට ලක් වෙන්නේ. උපතේ සිට මරණය දක්වාම ඔවුන් මැරි මැරී ඉපදෙනවා. අපි ඔවුන්ට හිනා වෙනවා.

නමුත් ඒ හිනාව තුළ ඇත්තේ සමාජ ඛේදවාචකයක්. දැන් හිතන්න යුවලක් විවාහ වෙනවා. දරුවෙක් ලැබෙන්න එනවා. මේ දරුවා බඩේ ඉදිද්දී ඒ අය දන්නේ නැහැ මේ දරුවා කළු ද සුදු ද උස ද මිටි ද ඇස් අන්ධ ද බිහිරි ද කියලා. ඉපදෙන දරුවා බාර ගන්නම වෙනවා. ඒ දරුවට රෝගාබාධයක් සිදුවෙලා තියෙනවා නම් එයට වගකිව යුත්තේ මව්පියන්. සමහර වෙලාවට අම්මා අධිමාත්‍රාවට ඖෂධ අරගෙන වෙන්න පුළුවන්. නැතිනම් අම්මගේ තිබුණු ජානමය ප්‍රශ්නයකට, නැතිනම් තාත්තා බ්‍රවුන් ෂුගර්, හෂීස්, මරුජුවානා වැනි මත්ද්‍රව්‍ය අරගෙන වෙන්න පුළුවන්. මෙවැනි නරක චර්යා තිබෙන මව්පිය වරුන්ට ලිංග විපර්යාස සහිත දරුවන් ඇතිවෙන්න පුළුවන් බව වෛද්‍යවරුන් පවසනවා. මේ චිත්‍රපටයේ තැනක අහනවා. ‘අපේ තිබෙන වරද මොකක්ද කියලා?‘ මටත් කියන්න අවශ්‍ය වුණේ මේ ජන කොටසට මේ විදිහට කරන්න එපා කියලයි.

‘මයා‘ චරිතයට අවතීර්ණ වන්නට ප්‍රථම ඔබ ඒ චරිත අධ්‍යයනය කිරීමක් කළාද?
මම මේ චරිතය රඟපාන්න පෙර ඒ චරිත ගැන අධ්‍යයනයක් කළා. මේ වගේ හුඟ දෙනෙක් මට මුණගැහුණා. මම ඇහුවා සමාජය ඔයාලට සලක්නේ මොන විදිහටද කියලා? ඒ හැම දෙනෙක්ම වගේ කිව්වේ අපි සමාජයට කිසිම වරදක් නොකර පාසලේ දි රැකියා ස්ථානයේ දී විවිධ නම් අපිට කියමින් විහිළු කරනවා. කියලයි. ජන්දෙ දෙන තැනදි පවා ඔවුන් අසාධාරණයට ලක්වෙනවා. තමුසෙල යන්නෙ මොන පෝළිමේ ද කියලා අහනවලු. ඉන් පස්සේ මරණයටවත් ගෞරවයක් නැහැලු. මේ අය මේ දේවල් කියන්නේ අඬඅඬා. මෙය හරිම කනගාටුදායක තත්ත්වයක්. ඊට අමතරව මම මෙවැනි චරිත රැගත් චිත්‍රපට කිහිපයක්ම නරඹමින් ඒවා අධ්‍යයනය කළා.

මෙවැනි චරිතයක් රඟපෑම සමහර විට සමාජයේ විරෝධතාවයට හේතු වෙන්න පුළුවන්?
මෙහෙමයි, අපි ආගම පැත්තට යමු. ගෞතම බුදුන් වහන්සේ කියන්නේ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! කියලයි. බයිබලයේ තියෙන්නෙත් ඒ දෙයමයි. ‘මායා‘ වැනි අය ගැන කතා කරන්න කට්ටිය බයයි. කතා කරන මිනිහට ගහනවා. මගේ රංගනයට අපහාස කරන අය මට නෙවෙයි ඒ විදිහට අපහාස කරන්නේ අර අහිංසක ජන කොටසටයි. මම මේ චරිතය රඟපාද්දී මේ චරිතයට සමාජයේ විවිධ කණ්ඩායම්වලින් ලොකු විරෝධයක් මතුවෙයි කියලා මම හිතුවා. නමුත් එවැනි දෙයක් සිදුවුණේ නැහැ.

මේ අය ගැන ඔබේ ආකල්පය කුමක්ද?
ඔවුන් කිසිම විටෙක අවඥාවට ලක්නොවිය යුතුයි යන මතයේ මම ඉන්නේ. ඩයබිටික්, කොලෙස්ට්රෝල්,වැනි රෝගාබාධ ඇති වන්නේ අම්මල තාත්තලගෙ ජානවලින්. ඒවට බෙහෙත් තියෙනවා. ඒ ලෙඩවලට අපි හිනා වෙන්නෙ නැහැ. කැන්සර්වලට කැන්සර් වාට්ටු තියෙනවා. වකුගඩු රෝගීන්ට අපි පිහිට වෙනවා. නමුත් ලිංග විපර්යාසයක් අතිවූවන්ට ඇයි අපි හිනා වෙන්නේ? ඔබට මතක ඇති කුලියාපිටියේ දරුවා. මමත් ඒ දරුවා වෙනුවෙන් කුලියාපිටියට ගියා. මේ දරුවා වෙනුවෙන් කතා කරන්න මේ රටේ ජනප්‍රිය ක්‍රිකට් තරුවලට, රූපරාජිනියන්ට කතා කළා. ඒ අය හැමෝම මඟ ඇරියා. මගේ ළඟට මේ ප්‍රශ්නය ආපු වෙලාවේ මම එකපාරින්ම යමු කියලා කුලියාපිටි ගියා. ගිහිල්ලා බලත්දී බොහොම අහිංසක ළමයෙක්.

දරුවගේ නිවෙසට යද්දී ඒ දරුවගේ ගෙදර ට යන පාරෙ ඊතලයකින් ඩේන්ජරස් සෝන් කියලා වෙන්කරලා තිබුණා. මම ජීවිතේ දැක්ක අමිහිරම සිදුවීමක් ඒ. මම ඒ ගෙදරට ගිහින් බැස්සා විතරයි අන්න වන්ෂොට් අයියා අවිත් කියලා කොල්ලො කෙල්ලො පිරෙන්න ගත්තා.මාත් එක්ක සෙල්ෆී ගහන්න හදනවා. මම කිව්වා සෙල්ෆි ඕන නම් රෙහාන් ගෙ ගෙදරට එන්න රෙහානුත් එක්ක තමයි සෙල්ෆි ගහනව නම් ගහන්නේ කියලා. පස්සෙ ගමේ මින්ස්සු හුඟ දෙනෙක් එතැනට ආවා. මම දරුවා වඩාගෙන චොකලට් කාලා අඹ කලා කෑමත් කෑවා. මට මේළඟදි කෝල් එකක් ආවා.‘Hello Uncle How are you? Now I am Studing in Trinty College' මම ඇහුවා Who is this? කියලා. I'm Rehan. මේ පොඩිදරුවා උත්තර දුන්නා. බලන්න අද ඒ දරුවා හොඳ පාසලක English Medium වලින් ඉගෙන ගන්නවා. මම කිවිවා පුතේ උඹ හොඳින් ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙයන් කියලා. මම කියන්නේ මේ සමාජ අසාධාරණය නැමැති බිත්තර කටුව කවුරු හරි බිඳින්න ඕනෙ.කලාකරුවො වුණාම ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ.

මේ වන විට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් අය මම චිත්‍රපටයේ මේ සංක්‍රාන්ති ලිංගිකයන් ගැන කරන ස්පීච් එකට කැමැතියි. මේ චිත්‍රපටය නරඹපු ගොඩක් රසිකයන් කියන්නේ මොවුනට විහිළු කරන්න දැන් හිතෙන්නෙ නැහැ කියලයි.මම හිතන්නේ මම විශාල පිනක් කර ගත්තා කියලයි.මොරටුවේ ෆෑන්ස්ල වගයක් මගේ පින්තූරෙට මල්මාලා පළන්දලා කිරිවලින් නාවනවා. හරිම සතුටක් දැනෙනවා.

‘මයා‘ දර්ශන තලයේ සිදු වූ විශේෂ දේවල් මොනවාද?
මායා රූගත කිරීම් ලංකාවේ වගෙම ඉන්දියාවේදීත් සිදු වුණා. මේ චිත්‍රපටයට වියදම කෝටි අටක් පමණ වුණා. ඉන්දියාවේ කෝචින්වල දී සටන් ජවනිකාවක් තිබුණා. එයට ගිය වියදම ලක්ෂ අසුවයි. කොහොම හරි මායා දර්ශන තලයේ තවමත් හිනා යන සිද්ධි ගණනාවක් වුණා. මේ චිත්‍රපටයේ එක තැනක තිබෙනවා ඇමැතිවරයාව මරණ දර්ශනයක්. මේ දර්ශනය රූගත කළේ පානදුර වෙරළ තීරයේ. දවස් 4ක් පුරා පාන්දර හතරට ෂුටින් තිබුණා. මහ පාන්දර රතු සාරිය ඇදගෙන තඩි පියවුරු දෙකත් දාගෙන මේකප් කරගෙන මුහුණ පුරා ලේ නාගෙන ඉන්නේ. අනෙක ඒ දවස්වල පාර්ලිමන්ට් එකේ කල් තැබීමේ විවාදය.

මැතිඇමැතිවරු එක්ක බැණ අඩගහගෙන තමයි එන්නේ. මනසත් හරි අවුල්. මානසික ආතතිය නැති කරගන්න එක්ක පොඩි ජොලියකුත් මට ඕන වෙලා තිබුණා. අපි ෂුටින් කරන තැනට ටිකක් එහායින් ජොගින් පාත් එකක් තියෙනවා. මෙතනට පාන්දරට ව්‍යායාම කරන්න මිනිස්සු එනවා. අන්ධකාරයත් එක්කනෙ. මම ජොගින් පාත් එකේ වංගුව ළඟට වෙලා අනික් පැත්ත බලාගෙන ඉන්නවා. ව්‍යයාම කරන්න එන අයත් මං දිහා හොඳට බලනවා. මගේ මුණ පේන්නේ නැහැ. මම එක පාරටම ‘මට ලේ ඕනේ‘ ... කියාගෙන අත්දෙක දික්කරලා ඒ මනුස්යා දිහාට හැරෙනවා. බුදු අම්මෝ ... කියලා මාව දකින මිනස්සු කෑ ගහගෙන පැනලා දුවනවා.

හුසේන් බෝල්ට් පරාදයි. මේ විදිහට මිනිස්සු දුවන කොට පුබුදුවත් මම වගේම ඇඳගෙන අනෙක් වංගුවෙ ඉදල බය කරනවා. පණ එපා කියල තමයි මිනිස්සු දිවිවේ. එක මිනිහෙක් කොච්චරට බය වුණාද කිව්වොත් මම ‘මට ලේ ඕනේ.. කියල අත දික් කරන කොට ළඟට එන්න එපා වෙඩි තියනවා කියලා කෑගහලා දුවන්න ගත්තා. තවත් මාර සිදු වීමක් වුණා. එදත් පාන්දර හතරට ෂූටින් පටන් ගන්න මේකප් කළා. එදා වෙරළෙ ඔරැවක් නවත්තලා. ඒ ඔරුව ළඟ මිනිහෙක් ෆයිල් එකකුත් තියාගෙන බර කල්පනාවක. මම ළඟට ගියා ඒත් මේ මිනිහට ගානක් නැහැ ඔහේ බලාගෙන ඉන්නවා. මුහුදු රළ නිසා කවුරුවත් ළඟට එන හඬ ඇහෙන්නෙ නැහැනෙ.

මම හෙමිහිට ගිහින් ඒ මනුස්සයගෙ කරෙන් මගේ නිකට තිබ්බා. ඒත් මූට ගාණක් නැහැ. මම කනළඟට කරලා හාර්ස්....හාර්ස් කියලා ශබ්ද කළා. එක පාරටම මගේ දිහා හැරිලා බලපු මනුස්සයා බුදු අම්මෝ කියලා මරලතෝනි දීගෙන දුවන්න පටන් ගත්තා. මමත් අතෑරියෙ නැහැ. මමත් ඒ මිනිහගෙ පස්සෙන් පන්නන්න ගත්තා. පානදුර වෙරළේ ඉඳන් ගාලුපාරට දුවලයි මිනිහා පස්ස බැලුවේ. අපේ සෙට් එකේ එව්න්ට පණ යනකන් හිනා. බඩවල් කොරවෙන කන් හිනා වුණා. පස්සෙ අපි ෂුටින් ඉවරවෙලා උදේ හතට විතර යන්න හදද්දී මෙන් මේ මනුස්සයා එනවා. අපේ අධ්‍යක්ෂක ඩොනල්ඩ් ජයන්ත ළඟට ගිහිල්ලා ඇයි මල්ලී කියලා අහලා. බලන්නකො අයියෙ මම පාන්දර අනූනමයෙන් බේරුණේ. සුනාමියට අහුවුණු ගෑනියෙක් මුහුදෙන් මතුවෙලා මගේ ලේ බොන්න ආවනේ‘ කියලා කව්වා. ඩොනා හිනාවෙලා ඒ අවතාරයක් නෙමෙයි. රන්ජන් රාමනායකනෙ ඔයාගෙ පස්සෙන් පැන්නුවේ කිව්වා. ඒත් ඒ මනුස්සය ඒ කතාව පිළිගත්තෙම නැහැ. මේ වගේ විවධ දේවල් සිදුවුණා.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews